ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා දින 90 ක රැඳවුම් නියෝග මත මේ වන විට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටිනවා.
රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුලු පිරිසක්.
නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින්, පෙත්සම්කාර සුරේෂ් සලේ පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම නීතියට පටහැනි බවයි.
2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ තමන්, 2019 වසරේ ජනවාරි මස 07 වැනිදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව පෙත්සම්කාර සුරේෂ් සලේ පවසා තිබෙනවා.
රිට් පෙත්සම ඉදිරිපත් කරමින් සුරේෂ් සලේ පවසන්නේ පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවයි.
පාස්කු ප්‍රහාරය එල්ල විමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙන්ම විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක්ද විමර්ශන සිදුකළ බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.
ඒ අනුව පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර මත සහරාන් හෂිම් ඇතුලු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට අදාළ සෑම පරීක්ෂණ වාර්තාවකින්ම කරුණු අනාවරණ කර තිබූ බවත් පෙත්සම්කරු පවසනවා.
ඒ කිසිදු වාර්තාවක තමන් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර නොතිබූ බවත්, තමන්ට එරෙහිව නිර්දේශ හෝ නිකුත් කර නොතිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.
පසුගිය පෙබරවාරි මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර ඊට කිසිදු සාධාරණ සාක්ෂි නොමැති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය පෙත්සමේ දක්වා තිබෙනවා.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රඳවා ගැනීමේ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
තවද මෙම විමර්නශනයට අදාළව තමා සහ සෙසු සාක්ෂිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසයි.





