සලේ අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකිනවා

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියා
සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥයා පැවසුවේ කොටි නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවයි.
කොටි නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් ඔහු පැවසුවා.
2015 වසරේ සිදු වුණේත් මෙවැනි තත්වයේ ක්‍රියාවක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් සඳහන් කළා.

Share