සමාජ මාධ්‍ය ගැන අලුත් තීරණ

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ද ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවයි.

සමාජ මාධ්‍ය සැලකෙන්නේ අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට එකිනෙකා සමඟ අදහස්, තොරතුරු, රූපරාමු සහ වීඩියෝ හුවමාරු කර ගැනීමට ඉඩ සලසන වේදිකාවක් ලෙසයි. Facebook, instagram, whatsapp, twitter, tik tok, යන සමාජ මාධ්‍ය වේදිකා ඒ අතරින් ප්‍රමුඛයි.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව තිබුන ද වර්ථමානය වන විට ඒ සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ එතරම් සුහදායි පුවත් නම් නොවේ.
කෙසේ නමුත් ජංගම දුරකතනය හා සමාජ මාධ්‍යය දරුවන්ගෙන් දුරස් කරවීමට පලමු පියවර තබන්නේ ඔස්ට්‍රේලියාව විසින්.
ඒ වයස අවුරුදු 16 ට අඩු සියලු දරුවන්ට ෆේස්බුක්, යූ ටියුබ්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට කටයුතු කරමින්.
ඒ අනුව යමින් මේ වන විට ප්‍රංශය, ජපානය, ඩෙන්මාර්කය, බ්‍රිතාන්‍ය, ග්‍රීසිය ඇතුළු තවත් රටවල් රැසක්ද වයස අවුරුදු 16ට අඩු සියලුම පාසල් දරුවන් සමාජ මාධ්‍යයෙන් ඈත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට යුරෝපීය රටවල් තුල මෙන්ම ආසියාතික රටවල් තුලත් පාසල් දරුවන් හට ජංගම දුරකතනය, සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් කතිකාවත් නිර්මාණය වෙමින් පවතිනවා.
ඒ අනුවයි වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතාව කිරීම තහනම් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අසල්වැසි ඉන්දියාවත් සැරසෙන්නේ.
දරුවන් සමාජ මාධ්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීම සහ ඉන්දීය පරිශීලකයින්ගේ දත්ත විදේශීය සමාගම් විසින් ඔවුන්ගේ කෘතිම බුද්ධි පද්ධති දියුණු කිරීමට නොමිලේ ලබා ගැනීම මෙයට ප්‍රධාන හේතු ලෙසයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
කෙසේ නමුත් ලංකාව තුල පවතින ජීවන රටාවත් අධ්‍යාපන රටාවට අනුව පාසල් දරුවන්ගෙන් දුරකතනය හෝ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරවීමේදී යම් ගැටළුකාරී ස්වභාවයක් පැන නගිනවා
ඒ මෙරට පාසල් අධ්‍යාපනය වර්තමානය වන විට මුලුමනින්ම ජංගම දුරකථන හා විවිධ සමාජ මාධ්‍ය වේදීකා තුලට ගොනු වී තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත් මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ මෙවන් පසුබිමකයි.
විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවයි.

Share