රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව ඔහු අද කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප 2ක් මත මුදා හැරුණා.
2023 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අනුමත කිරීම හරහා මෙම සාවද්‍ය මුදල් පරිහරණය සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
2023 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අනුමත කිරීම හරහා සාවද්‍ය මුදල් පරිහරණය සිදු කළ බවට හිටපූ ජනාධිපති ලේකම්වරයාට චෝදනා එල්ල වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මෙම නඩු වේ පළමුවන සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප නියම කිරීමේදී විදේශ ගමන් තහනමක් පනවා නොමැති බැවින් ඇප කොන්දේසියක් ලෙස මෙම සැකකරුටත් විදේශ ගමන් තහනමක් පැනවීමට කටයුතු නොකරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා, “පොදු දේපළ පනත යටතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කළ විට නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බව පනතේ සඳහන් වේ. සැකකරුවකු ඇප මත මුදාහළ හැක්කේ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණි. නමුත් ඒ අසාමාන්‍ය කරුණු මොනවාද යන්න නීතියෙන් පැහැදිලි කර නැත. මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙම සැකකරු හිටපු ජනාධිපති ලේකම්වරයා වේ. සැකකරු ඉහළම රාජ්‍ය නිලධාරියා වන අතර හිටපු ජනාධිපතිවරයාගේ දින දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් මිලියන 16 කට අධික මුදල් අනුමත කිරීම තුළින් ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. රාජ්‍ය නායකයකුගේ සංචාර සම්බන්ධයෙන සලකා බැලීමේදී ඒවා සිදුවන්නේ තෝරාගත් අවස්ථාවලදී පමණි. ඒ නිසා එවැනි සංචාරයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජනාධිපති ලේකම්වරයා වශයෙන් සැකකරු සැලකිලිමත් විය යුතුය. නමුත් මෙම නඩුකරය හා සම්බන්ධ කරුණු සලකා බැලීමේදී සැකකරු මුදල් අනුමත කිරීමේදී රාජ්‍ය නායකයාගේ සංචාරය පුද්ගලික සංචාරයක්ද? එසේත් නැත්නම් නිල සංචාරයක් ද? යන කාරණය පිළිබඳව සැලකිලිමත් වී නොමැති බව අධිකරණයට නිරීක්ෂණ වේ. සැකකරු වසර 37 ක පල පුරුදු රාජ්‍ය සේවකයෙකු බව ඇප ඉල්ලීමේදී සඳහන් විය. එසේ නම් ඔහු වඩාත් වගකීමකින් කටයුතු කළ යුතුවේ. නමුත් රුපියල් මිලියන දහසයකට අධික මහජන මුදලක් අනුමත කිරීමේදී ඔහු වගකීමකින් යුතුව කටයුතු කර තිබෙන ආකාරයක් අධිකරණයට නිරීක්ෂණය නොවේ. ඉහලම රාජ්‍ය නිලධාරීයා මේ කටයුතු කරන විට ඊට පහළ ස්ථර වල සිටින නිලධාරීන් සම්බන්ධයෙන් සිතා බැලීම ගැටළු සහගතය” යනුවෙන් පවසා සිටියා.
වැඩිදුරත් සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා
“මෙම සිද්ධියේ පළමුවන සැකකරු වශයෙන් නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ. රිමාන්ඩ් භාරයට පත් කළ එම සැකකරු පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. පසුව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට ඒවා තිබූ වාර්තාවක් පදනම් කරගෙන පුර්වගාමී මහේස්ත්‍රාත්වරිය විසින් එම සැකකරු ඇප මත මුදා හැර තිබුණි. එම සැකකරුට පවතින රෝගී තත්ත්වය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් විසින්ද අධිකරණයට ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි. ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයද එම වාර්තාව ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. නමුත් පළමුවන සැකකරු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවට අනුව පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට ඇප නියම කර තිබුණි. නමුත් ඇප ලැබීමට පෙර එම සැකකරු ඒ ආකාරයෙන් ප්‍රතිකාර ලබාගත් බවට වාර්තාව වී නොතිබුණි. ඇප ලැබීමෙන් පසුවත් ඒ ආකාරයෙන් ප්‍රතිකාරයක් එම සැකකරු විසින් ලබා ගත් බවට වාර්තා ඉදිරිපත් නොවීය. පළමුවන සැකකරුට පවතින අපරාධය වගකීම හා සංසන්දනය කිරීමේදී මෙම දෙවන සැකකරුට පවතින වගකීම ඊට දෙවැනි බව සඳහන් කළ යුතුයි. දෙවන සැකකාර සමන් ඒකනායක නමැත්තා දින 21 ක් මේ වන විට රිමාන්ඩ් භාරය පසු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එකා සමාන බව සඳහන්ව තිබේ. ඒ අනුව මෙම නඩුවේ පළමුවන සැකකාර රාජ්‍ය නායකයා, දෙවන සැකකාර ජනාධිපති ලේකම්වරයා සහ සාමාන්‍ය පුරවැසියා යන සියලු දෙනාම නීතිය ඉදිරියේ එක හා සමාන බව සඳහන් කළ යුතුය. අපරාධ වගකීම අතින් ගත් කලද පළමුවන සැකකාර වික්‍රමසිංහ මහතාට වඩා මෙම සැකකරුට පවතින වගකීම ඊට දෙවෙනි බව සඳහන් කළ යුතුයි. ඔහු සිදු කර තිබෙන්නේ ආධාර අනුබල දීම පමණි.” යනුවෙන් පවසා සිටියා
ඒ අනුව මෙම කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරුට ඇප නියම කිරීමට තීන්දු කරන බවයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය තුළින් ප්‍රකාශ කර සිටියේ.
ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
“ස්වාමීනි, ඔබතුමා පසුගිය නඩු දිනයේ සඳහන් කළා අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවත් ඊට පස්සේ බාධා කිරීමක් නොකරන බවටත්. අපිත් ඒක පිළිගන්නවා. නමුත් මෙම නඩුවට සම්බන්ධ ඇතැම් නීතිඥයින් හා විශාරදයින් බව කියාගන්නා ඇතැම් පුද්ගලයින් සිදු කරන ප්‍රකාශ නිසා සාක්ෂිකරුවන්ට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඇතැම් පුද්ගලයින් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දුන් අරුණ ප්‍රනාන්දු නැමති සාක්ෂිකරුගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. මෙවැනි ක්‍රියා කරන්නේ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සඳහායි. මේ හරහා මානසික භීෂණයක් මැවීමට ඔවුන් උත්සාහ කරනවා”.
මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ “සාක්ෂිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඕන තරම් නිතිප්‍රතිපාදන පවතිනවා.
ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි ප්‍රකාශ “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසෙන්” වෙන් කරගත හැකි විමර්ශනවලට බාධා සිදු කරන ආකාරයේ ප්‍රකාශ නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමටත් හැකියාවක් තිබෙනවා. එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ යුතුයි”. යනුවෙන්.
මෙහිදී වැඩිදුරත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය – 03 හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුදීමට පියවර ගෙන තිබෙන බවත් අධිකරණයට දන්වා සිටියා.
ඉන් අනතුරුව මෙම නඩුකරය යළි අප්‍රේල් මස 29 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.
විත්තිකරුවන්ට අධි චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම් ඊළඟ දිනට පෙර එම කටයුත්ත සිදු කිරීම වඩා සුදුසු බවත් මහේස්ත්‍රාත්වරයා අවසන් වශයෙන් සඳහන් කළා.





