සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය

සේවා අයිතිවාසිකම් ලබාදෙන ලෙසට ඉල්ලමින් පාසැල් ගුරු සංවර්ධන නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් පැවැත්වෙනවා. උපවාසයේ නිරත පිරිස, පදික වේදිකාව අවහිර කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

තරග විභාගයට මුහුණ දීමකින් තොරව තමන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට බලකරමින් පාසැල් ගුරු සංවර්ධන නිලධාරීන් දීර්ඝ කාලයකු විරෝධතාවල නියැළුණා. ඒ තමන් වසර 7කට අධික කාලයක් පාසැල්වල ඉගැනුම් ක්‍රියාවලියේ නිරත වූ බව පවසමින්. සිය ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් ඔවුන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. එය දෙවන දිනටත් අද පැවැත්වෙනවා. මෑත කාලීනව දැඩි කතාබහට ලක්වී තිබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව, මොඩියුල පුහුණු කිරීමේ ක්‍රියාවලියට ද මෙම පාසැල් ගුරු සංවර්ධන නිලධාරීන් සහභාගී කරවාගත් බවටද උපවාසයේ නිරත පිරිස පෙන්වා දෙනවා. කෙසේවෙතත් පදික වේදිකාවේ අසුන්ගෙන සිටි උපවාසයේ නිරත පිරිස, කූඩාරමක් ඇටවූ අවස්ථාවේදී පොලිසිය එය ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පදික වේදිකාව අවහිර කරමින් මහජන පීඩා සිදුකිරීමෙන් වළකින ලෙසත් පොලිසිය ඔවුන්ට තරයේ අවවාද කළා.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයිනේ සියලුම රෝහල්වල අද දිනයේත් ක්‍රියාත්මක වුණා. මේ අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා සිය සංගමයේ නියෝජිතයින් සහය නොදක්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. මේ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයද හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.

Share