ශිරන්ති FCID එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
අප වාර්තා කරුවන් සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේවන තුරුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ රැඳී සිටින බවයි.

සිරිලිය නමින් පවත්වාගෙන ගිය ගිණුමේ සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
ඇයට පසුගිය 27 වැනිදාත් එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත්, එදින පැමිණිය නොහැකි බවට සිය නීතිඥවරු මාර්ගයෙන් ලිඛිතව දැනුම් දී තිබුණා.
ඒ අනුව ඇය අද පෙරවරු 09.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සමඟින්.
ඇය පැමිණෙන අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඇතුලු බොහෝ පිරිසක් ඒ අවට රැස්ව සිටියා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය තවමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට පැමිණියේ නැහැ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඔහු දිවයිනේ රැඳී නොසිටීම හේතුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කැඳවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

Share