ශ්‍රී ලන්කන් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය

රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රමාදයන් අවසන් කරමින්, ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැහැර හැර ඇති ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගෙන තිබෙනවා.
ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා නිවේදනය කළේ ප්‍රතිව්‍යුගත කිරීමේ මූල්‍ය පරාමිතීන් පිළිබඳ බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් හය දෙනෙක් සමග මෙම ප්‍රතිපතිත්මය එකඟතාවට පැමිණි බවයි.

2026 අයවැය නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 210 ක් වටිනා හිඟ බැඳුම්කර සහ පොලිය ප්‍රතිව්‍යුහගත කිරීම 2025 අවසානය වන විට අවසන් කරන බවට පොරොන්දු වුණා.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2024 ජුනි මාසයේ ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 19 දක්වා කාලය තුළ බැඳුම්කර හිමියන් සමඟ සීමිත සාකච්ඡා පැවැත්වූ බවයි.
බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමේ සීමිත සාමාජිකයන් හය දෙනා මුළු හිඟ මුදලින් ආසන්න වශයෙන් 55% කට හිමිකම් කියනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනුව, ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් අවසාන කැබිනට් අනුමැතියට මෙන්ම එය රජයේ පුළුල් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳීම්වලට අනුකූල බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකාවේ නිල ණයහිමි කමිටුවේ සමාලෝචනයට ලක් කරනු ඇති.
ප්‍රතිපත්තිමය එකඟතාවට අදාළ මුළු හිමිකම් මුදලින් 15% ක කප්පාදුවක් ඇතුළත් වන අතර, ඉතිරිය මුදල් සහ සියයට 4ක පොලියක් යටතේ මධ්‍ය කාලීන රජයේ බැඳුම්කර මිශ්‍රණයකට හුවමාරු කර ගත යුතු වනවා.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ මෙම එකඟතාව සමග බාහිර ණයවලින් සියයට 99ක් මේ වන විට ප්‍රතිව්‍යුහගතකරණය අවසන් බවයි.
බාහිර හවුල්කරුවන් සමඟ සබඳතා සම්පූර්ණයෙන්ම සාමාන්‍යකරණය කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් තුළ මෙය නව පියවරක් බව ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුවේ හෝ IMF වෙතින් විරෝධතා නොමැති වුවහොත් වසර අවසන් වන විට ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට පාර්ශ්වයන් අපේක්ෂා කරනවා.

Share