ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්භාවය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14කට තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්භාවය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අද දිනයේ දී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
කාලගුණ අනාවැකියට අනුව t20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී අද පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරු 8.30ට නිකුත් කළ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයට අනුව මධ්‍යම, ඌව, සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මෙම නිවේදනය හෙට පෙරවරු 8.30 දක්වා වලංගු වනවා.

කාලගුණ අනාවැකියට අනුව අයිසීසී t20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පස්වරු තුනට ආරම්භ වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩක් පවතිනවා.
අද උදෑසන කාලයේදීත් ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශයට වැසි ඇද හැලුණු බව අප වාර්තාකරුවන් පැවසුවා.
පසුගිය දින කිහිපය පුරාමත් පල්ලෙකැලේට විටින් විට තද වැසි ලැබී තිබෙනවා.

Share