දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජය ආරම්භ කළ සාගර බන්දු වැඩසටහන යටතේ තමිල්නාඩු රජය මෙරටට ප්‍රදානය කළ ද්‍රව්‍යමය ආධාර තොගයක් රැගත් නෞකා තුනක් ඊයේ කොළඹ වරායට ළඟා වුණා.
තවත් නෞකාවක් ත්‍රිකුණාමලය වරායට ළඟා වීමට නියමිතයි.
වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ආධාර තොගය භාර ගත්තා.
සීනි, කිරිපිටි, ධාන්‍ය වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇඟලුම් ද ඇතුළත් ද්‍රව්‍යමය ආධාර ප්‍රමාණය ටොන් 1000කට ආසන්නයි.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු රට පුනරුත්ථාපනය කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ‘Rebuilding Sri Lanka’ අරමුදලට සම්බන්ධ මෙරට පෞද්ගලික අංශයේ සමාගම් ප්‍රධානීන් හමු වුණා.
ශ්‍රී ලංකාවේ ඇති වූ අර්බුදයට ඉන්දියාව ප්‍රතිචාර දැක්වූ අයුරු මහ කොමසාරිස්වරයා ඔවුන්ට පැහැදිලි කර ඇති අතර මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සමඟ ඉන්දියාව අඛණ්ඩව රැඳී සිටින බවට සහතික වී තිබෙනවා.
මේ අතර ස්වභාවික ආපදා හේතුවෙන් විපතට පත් දකුණු සහ අග්නිදිග ආසියාවේ රටවල ජනතාවට උපකාර කරන ලෙස අති උතුම් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ශුද්ධෝත්තමයාණන් වහන්සේ ඉල්ලා සිටින්නේ එම කලාපයේ විපතට පත් සහෝදර සහෝදරියන් සමග නොසැලෙන සහයෝගයෙන් සිටින ලෙසයි.
ඔවුන් වෙනුවෙන් එක්ව යාඥා කරන ලෙසද පාප්වහන්සේ ඉල්ලා සිටිනවා.





