ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඛනිජ තෙල් සැපයීම සඳහා කටයුතු කරන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අවධාරණය කරයි

අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඛනිජ තෙල් සැපයීම සඳහා කටයුතු කරමින් සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අවධාරණය කරනවා.
මේ අතර ගෝලීය අර්බුදය හමුවේ මෙරට කෘෂිකර්මාන්ත, ධීවර, වරාය හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයන්ට එල්ලවිය හැකි බලපෑම අවම කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව රජය පවසනවා.

ඉන්දියාවේ අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවති දුරකන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස හරි අනන්ඩ් නෞකාවෙන් ඊයේ මෙරටට රැගෙන ආ ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38000 ක්.
එය නිරීක්ෂණය කිරීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ද කොළඹ වරායට පැමිණ සිටියා.

සාමාන්‍යයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මසකට පමණ කලින් තොග ඇණවුම් කරනවා. මාර්තු මාසයේ අපේ නෞකා ප්‍රවාහන සේවා කාර්ය බහුල වුණා. මේ යුද්ධය ආරම්භ වීමත් එක්ක. අපට ඉන්ධන සපයන බවට තහවුරු කර තිබූ සමාගම් සැපයුම්කරුවන්ට ඒ හේතුවෙන් ඉන්ධන සපයන්න නොහැකි වුණා. ඒ නිසා අපේ සැපයුම බිඳ වැටුණා. ඒ කාරණය නිසා අපි ඉන්දියාවේ තිබෙන ඉන්දියන් ඔයිල් සමාගමට කිව්වා අපට මුදාගැනීමේ තොග සැපයුම් කරන්න කියලා. ඒ ඔස්සේ ලංකාවට අඛණ්ඩවම ඉන්ධන සැපයීම තහවුරු කරන්න පුළුවන්. ඒ අතරතුරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ අපේ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම දෙරටේ අපේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතරත් සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡා මත තමයි මේ මුදාගැනීමේ සැපයුම් අපට ලැබෙන්නේ. මේ නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් තිබෙනවා. අපේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්නත් අපි පියවර ගන්නවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ තිබෙන අපේ පර්යන්තයටත් සැපයුම් ගෙන්වා ගන්න අපි උත්සාහ කරනවා.
මේ අතර නීති විරෝධී ආකාරයෙන් ඉන්ධන එක්රැස්කරගෙන සිටින පිරිස් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා අඛණ්ඩව පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසනවා.

මේ අතර ‘ ඇමරිකන් ඊශ්‍රායල යුද වියරුවට එරෙහිව පෙරට එමු සටන් වදිමු ඇමරිකන්, ඉන්දියන්, ජපන් යුධ ගිවිසුම් වලින් ඉවත් වෙනු’ යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් ගාල්ල බද්දේගම නගරයේ දී පැවැත්වුණා.

බලශක්ති අර්බුධය හමුවේ මෙරට ක්ෂේත්‍ර ගණනාවකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
එවැනි තත්වයක් හමුවේ ධීවර, කෘෂිකර්මාන්ත, සිවිල් ගුවන් සේවා, වරාය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා මේ වන විට ක්‍රමෝපායන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව රජය පවසනවා.

Share