ශ්‍රීලංකාවට ලකුණු 105ක ජයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔ්මාන කණ්ඩායම ලකුණු 105කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවැනි ජය ලැබුවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීම කැපී පෙනුනා.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ ලෝක කුසලාන තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රිම් වෙතයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 225ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් රැස්කළ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා.
පවන් රත්නායක පන්දු 28කින් ලකුණු 60ක් ලබාගත්තා.
පවන් රත්නායකගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.
පවන් රත්නායකගේ දැවී යාමෙන් පිටියට පිවිසි නායක දසුන් ශානක ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන සුපිරි ඉනිමක් දියත් කරමින් පන්දු 19කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව ද තමන් සතු කර ගනිමින්.
දසුන්ගේ ඉනිමට හයේ පහර හයක් ඇතුළත්.
ලකුණු 226ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.
ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.
ඕමාන් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් රැස් කළා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 11කට කඩුලු 2ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් ද දවාගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තෙවැනි තරගය ලබන 16 වැනිදා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි.
එම තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

Share