වෛද්‍ය වර්ජනය දෙවැනි දිනටත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි.
ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සංගමයේ විධායක මණ්ඩලය අද රැස්වනවා.
වෛද්‍ය වර්ජනය හේතුවෙන් සියලුම රෝහල්වල සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර කටයුතවලට දැඩි බලපෑම් එල්ල වුණා. සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ ආරම්භ කළා.
කෙසේවෙතත් අද දෙවන දිනටත් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.
ඊයේ දිනට සාපේක්ෂව ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්වලට පැමිණි ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණත් සේවා ඉටුකරගැනීමට නොහැකි වූ ඇතැම් රෝගීන් ආපසු පිටව ගියේ දැඩි කනස්සල්ලකින්. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වර්ජනය දැඩිව හෙළා දකිමින් ඉල්ලා සිටියේ රෝගී ජීවිත ඇපයට නොගන්නා ලෙසයි.

මේ අතර ටී.වී. සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‍පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අද පස්වරුවේ දැනුම් දෙන බවයි.

Share