වෙඩික්කරුවෙක් සමග පොර බැදු අහම්ඩ්ට ලොව නන්දෙසින් ගෞරව

බොන්ඩායි ප්‍රහාරය පිටුපස ඇත්තේ අන්තවාදයෙන් පෝෂණය වූ ත්‍රස්තවාදයයි.ප්‍රහාරය දේශපාලන කම්පනයක් ඇති කරන්නක් බව නොරහසක්.නමුත් අද ලොව පුරා කතා කරන්නේ වීර ඔස්ට්‍රේලියානුවෙක් පිළිබඳවයි.

බොන්ඩායි හි තාල වර්ගයේ ගසකට මුවා වී එක දිගට වෙඩි තබමින් සිටියදී පසුපසින් පැමිණෙන නිරායුධ පුද්ගලයෙක් ආයුධ සන්නද්ධ වෙඩික්කරු සමග පොරබැද තුවක්කුව උදුරා ගන්නා දර්ශන පෙළ මොහොතකින් මුලු ලෝකයේම අවධානය දිනා ගත්තා.

තුවක්කුකරු සමග පොර බදන අවස්ථාවේ අනෙක් වෙඩික්කරු එල්ල කළ ප්‍රහරයකින් අතට සිදු වූ තුවාල හේතුවෙන් “වීරයා” මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පළතුරු අලෙවිසැලක් පවත්වාගෙන යන 43 හැවිරිදි ඔහු අහමඩ් අල් අහමඩ් ලෙස හඳුනා ගනු ලබනවා. එමෙන්ම සය සහ පස් හැවිරිදි දියණියන් දෙදෙනෙකු⁣ගේ පියෙක්.

අහ්මඩ්, ඝාතකයාගේ රයිෆලයත් මනුෂ්‍යත්වයට ගරු කරන සමස්ථ ලෝකයේම ආදරයත් ඒ තප්පර ගාණ ඇතුළත උදුරා ගැනීමට සමත් වුණා. ධවල මන්දිරයේ නත්තල් සැමරුමකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අහමඩ් ඇගයීමට ලක් කළා “මට ඔහු ගැන අතිමහත් ගෞරවයක් ඇති වුණා. ඇත්තටම ඔහු හරිම නිර්භීත පුද්ගලයෙක්, ඔහු ගිහින් වෙඩික්කාරයෙකුට පහර දීලා, ජීවිත රැසක් බේරගත්තා. ” අහමඩ් විසින් බේරාගනු ලැබූ ජීවිත ගැන හිතුවාම ඔහු අදහන දෙවියන්ගේ විතරක් නෙමේ සමස්ථ ලෝකයේම ආශිර්වාදය මේ වීරයාට ලැබෙන බව නිසැකයි.

Share