දිට්වා සුළි කුණාටුවෙන් වගා හානි සිදුවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇත්තේ දත්ත පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බව අනුරාධපුර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වු අවස්ථාවේදී මෙම අදහස් පළ වූ අතර, එහිදී නිලධාරීන් හා ගොවීන් අතර උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ද හටගත්තා.
මේ අතර, පසුගිය දින කිහිපයේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ වී අස්වැන්න වර්ෂාවට හසුවීමෙන් ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව දුෂ්කරතාවට පත්ව සිටිනවා.
දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී දිට්වා සුලි කුණාටුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණා.
මේ අතර, දිට්වා ආපදාවෙන් පසු යළි වගා කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක අස්වැන්න නෙලීමේ කටයුතු අතරතුර පසුගිය දින කිහිපයේ යළි ඇදහැලුණු වැසි හේතුවෙන් අස්වැන්න විනාශ වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.
ගොවි ජනතාව පවසන්නේ රජය මඟින් වී සඳහා සහතික මිලක් ඒ සඳහා ලබාදී තිබුණද වර්ෂාවත් සමඟ අවශ්‍ය ආකාරයෙන් වී වෙලා ගැනීමට නොහැකිවීම නිසා එම මිලට වී ලබා දිය නොහැකි බවයි. මේ අතර පැවති වර්ෂාව හේතුවෙන් තම වී අස්වැන්න වේලාගත නොහැකිව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.





