ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය පිළිගැනීමට මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියාව සමග අත්සන් තබා ඇති ගිවිසුම පිළිබඳ නැවතත් තාක්ෂණික ඇගයුමක් කරන ලෙස ඉල්ලා සැකසූ විරෝධතා ලිපියක් භාර දීම වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්රමුඛ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා.
ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට යෑමට අවසර නොදී, අමාත්‍යාංශ පිවිසුම අවහිර කර තැබීම හේතුවෙන් සිවිල් ක්‍රියාකාරීන් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
ඔන්ඩෙන්සෙට්රෝන් ඖෂධ එන්නත ලබා දීමෙන් පසු අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම්වලින් පසු ඉන්දියානු ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් ක්රියාකිාරීන් අතර නැවතත් උණුසුම් සාකච්ඡාවක් මතු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ඉන්දියානු රජයේ ඖෂධ ප්‍රමිතිය නැවත පරීක්ෂාවකින් තොරව පිළිගැනීමට පසුගිය අප්‍රේල් මාසයේ අත්සන් තබන ලද ගිවිසුම මගින් එකඟ වී ඇති බවටත්, ඒ් හේතුවෙන් ඉන්දියාවේ නිපදවන ඇතැම් ඖෂධ ප්‍රමිති පරීක්ෂාවකින් තොරව මෙරටට පැමිණෙන බවටත් ඔවුන් චෝදනා කරනවා.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්රමුඛ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දීමට පැමිණි ලිපියෙන් ඉල්ලා සිටියේ ද ඉන්දියානු ඖෂධ ප්‍රමිති සහතිකය පිළිගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙසයි
මේ අතර, තොරතුරු දැනගැනීමේ පනත යටතේ, මතභේදාත්මක ඔන්ඩෙන්සෙට්රෝන් ඖෂධ එන්නත මිලදී ගත් ක්‍රියාපටිපාටිය ඇතුළු තොරතුරු ඉල්ලා, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඊයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපියක් බාරදෙනු ලැබුවා.
ලිපිය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ කමිටු සාමාජික වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ ඔන්ඩෙන්සෙට්රෝන් ඖෂධය මෙරටට ගෙන්වා ඇති ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම, ප්‍රමිතියෙන් බාල ඖෂධ සැපයීමේ චෝදනාව මත ඉන්දියවේ දිළිඳුම ප්‍රාන්තයක් වන බිහාරය පවා වසර 05කට තහනම් කර තිබී ඇති බවයි
ඒ් සමගම පසුගිය දා ඔන්ඩෙන්සෙට්රෝන් ඖෂධ එන්නත ලබාදීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලේදී මියගිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති කාන්තාවගේ සවාමිපුරුෂය අදාළ මරණය පිළිබඳ විදිමත් පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
තම බිරිඳ අකාලයේ මිය යෑමෙන් තම දරුවන්ට සහ පවුලට සිදුවූ විපත තවත් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නොවනු පිණිස එවැනි පරීක්ෂණයක් සිදුවිය යුතු බ වයි ඔහු සඳහන් කළේ





