‘කොටි පාරාදීසය’ ලෙස ලොව පුරා ප්‍රකට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කිලෝමීටර් 15ක් තරම් දුරක අතරමංව සිටි සුනඛයෙක් බේරා ගැනීමට එහි ගිය සෆාරි කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කළා.
අනතුරුව එම කණ්ඩායම එම සත්ත්වයාගේ ජීවිතය බේරාගෙන වනෝද්‍යානය අසල පිහිටි කාර්යාලය වෙත රැගෙනවිත් බාරදීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව වඩාත් ප්‍රකට වී ඇත්තේ ‘කොටි පාරාදීසය’ ලෙසයි.
හෙක්ටයාර 131,693කට අධික ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකා කොටියා ඇතුළු විවිධ වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂවල නිවහන වනවා.
එමෙන්ම වර්ග කිලෝමීටරයකට වැඩිම කොටි ගහණයක් ජීවත්වන වනෝද්‍යානය ලෙස සලකෙන්නේ ද මෙයයි.
පසුගිය 04 වැනිදා විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැමිණි සෆාරි කණ්ඩායමකට වනාන්තරය තුළ කිලෝමීටර 15ක් පමණ ඇතුළට වන්නට අහඹු ලෙස සුනඛයෙක් හමුව තිබෙනවා.
වනාන්තරය තුළ සිටි මෙම සුනඛයා මෙතරම් දුරක් ගමන් කිරීම සහ කොටීන්ගෙන් ජීවිතය බේරාගෙන තිබීමද පුදුමය දනවන කරුණක්.
කෙසේ නමුත් මෙම සෆාරි කණ්ඩායමට මෙම සුනඛයා මඟ හැර යාමට කෙතරම් අවස්ථා තිබුණත් ඔවුන් එම සත්ත්වයාගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වුණා.
ඒ මක්නිසාද යත් වනාන්තරය තුළ මෙම සුනඛ්‍යා දමා ගියහොත් අනිවාර්යෙන්ම මෙම සත්ත්වයා කොටින්ගේ ග්‍රහණයට හසුවන නිසාවෙන්.
ඒ අනුව එම කණ්ඩායමේ සිටි එදිනෙදා ජීවිතයේ සතුන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් තුෂාර නැමැත්තා මෙම සත්ත්වයාගේ ජීවිතයේ බේරා ගැනීමට ඉදිරිපත්වුණා.
ඒ විල්පත්තු වනෝද්‍යාන නිලධාරින්ගේ අනුමැතිය යටතේයිී.
එම මෙහෙයුමේ දර්ශනයි මේ.
ජීවිත අවදානමද නොතකා මහත් පරිශ්‍රමයකින් මෙම සත්වයා අල්ලා ගන්නා සම්පත් තුෂාර මහතා එම සත්වයා ජිප් රථය තුළ නංවාගෙන වනෝද්‍යානය අසළ පිහිටි කාර්යාලයට රැගෙන ගොස් බාර දෙනු ලැබුවා.
සුනඛයන් වනාන්තරය තුළට ගෙනැවිත් ඔවුන් කොටියන්ට හසුකර එම දර්ශන විදෙස් ජාතිකයින්ට පෙන්වීමට සෆාරි කණ්ඩායම් ක්‍රියා කරන බවට පසුගිය දිනවල ජාතික වනෝද්‍යානය සෆාරි කණ්ඩායම්වලට චෝදනා එල්ල වුණා.
කෙසේනමුත් මෙම ක්‍රියාන්විතයත් සමඟ එම කරුණ සාවද්‍ය බව පැහැදිලි වනවා.
මේ අතර පසුගිය සමයේ දී විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කොටියෙකුගේ ග්‍රහණයට ලක්ව සිටි සුනඛයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් සංසරණය වුණා.
එහිදීද චෝදනා එල්ල වූයේ සෆාරි ජිප් රථ රියදුරන්ටයි.
කෙසේ වෙතත් එදින ග්‍රහණයට ලක්වූ සුනඛයා කොටියාගෙන් සිය ජීවිතය බේරාගෙන ආපසු පැමිණ තිබූ බවයි සම්පත් තුෂාර මහතා පවසන්නේ.





