විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍ර තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 11කට වැඩි ආදායමක්

විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍ර තුළින් පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 11කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යංශයේ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණ කළා.

2025 වසර තුළ සංචාරකයින් 23 ලක්ෂ 62,521 දෙනෙක් පැමිණ තිබු‌ණේ වසරකදී මෙරට පැමිණි වැඩිම සංචාරකයින්ගේ වාර්තාව ද අලුත් කරමින්.
සංචාරක පැමිණීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 15ක වර්ධනයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.
දිට්වා සුලි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මධ්‍යයේ වුවද දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් 258,928 දෙනෙක් මෙරටට පැමිණ තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.2ක වර්ධනයක් පෙන්නුම් කරමින්.
පසුගිය වසරේ දී මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
එම අගය 531,511 දෙනෙක්.
එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 212277 දෙනෙක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා.
ඊට අමතරව රුසියාව, ජර්මනිය, චීනය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය යන රටවලින් පැමිණි සංචාරකයින් ගණන ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව නොවැම්බර් මාසය වන විට මේ වසරේ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2910.6ක්.
නව හෝටල් ඉදි කිරීම, ගුවන් තොටුපොළ පුළුල් කිරීම, සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන කැඳවා ගැනීම වැනි ක්‍රියාමාර්ග මගින් මෙම තත්ත්වය අත්කර ගැනීමට හැකි වූ බව විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළා.

2026 වර්ෂය විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවූ වසර බවට පත්ව ඇතැයි ද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
2025 වසරේ නොවැම්බර් මාසය වන විට එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක්.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා මහබැංකුව හඳුන්වාදුන් ගිණුම්වලට සහ ඒ ඒ රටවල තානාපති කාර්යාල වල ප්‍රසිද්ධකළ ගිණුම්වලට රුපියල් බිලියන 85ක මුදලක් ලැබී තිබෙනවා. ඉන් වැඩිම මුදලක් ලැබී ඇත්තේ මාලදිවයිනෙන්වන අතර එම මුදල ලක්ෂ 725ක්.
එමෙන්ම ජපානයෙන් ලක්ෂ 596ක් සහ ඉන්දියාවේ චෙන්නායි වෙතින් ලක්ෂ 440ක මුදලක් ලැබී තිබෙනවා.

Share