ඉදිරි පැය 48ක කාලය තුළ විදුලි බල මණ්ඩල සේවකයින් ඉදිරිපත් කළ ඉල්ලීම් 08 සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් සංකේත වැඩ වර්ජනයකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩල සේවක වෘත්තීය සමිති අනතුරු අඟවනවා.
ඔවුන් අනතුරු අඟවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට පිටුපා, පෙබරවාරි 28 වැනිදා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට උත්සාහ කළ හොත්, රටම අඳුරේ තබන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් නිවේදනය පසුගිය ජනවාරී මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණා.
එහිදී විදුලි බල සේවක වෘත්තීය සමිති නියෝජිතයින් පවසා සිටියේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර සේවකයින් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 08 සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් ආණ්ඩුව විසින් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් මේවන තුරු ලබාදී නැහැ.
නමුත් බලශක්ති අමාත්‍යංශය විසින් ලබන 28 වැනිදා අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානම් වන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දෙනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔවුන් අනතුරු ඇඟවූයේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර සිය ඉල්ලීම් සහ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර නොදුනහොත් වැඩ වර්ජනයකට යාමට සිදුවන බවයි.





