අද මධ්‍යාහ්න 12.00 සිට පැය හයක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩල ඒ්කාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් වැඩ වර්ජනය ආරම්භ කෙරෙන අද දහවල් 12.00 සිට පැය 24ක කාළයක් තුල සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය තවදුරටත් තීව්‍ර කරන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයින් රජයට ඇනතුරු අඟවන්නේ.
ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර නව සමාගම් ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලය සතු සම්පත්වල සුරක්ෂිත බව වෙනුවෙන් වහා ඉටුකළ යුතු ඉල්ලීම් 08ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි 21 වැනිදා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විසින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වයන්ට යොමුකර තිබුණා.
කෙසේ නමුත් එම ඉල්ලීම් යළි යළිත් සිහිපත් කරමින් විදුලි සේවකයින් අමාත්‍යවරයාට සහ රජයේ බලධාරීන්ට සිහි කැඳවීම් කලත්, ඒ් සම්බන්ධයෙන් මේ දක්වාමත් කිසිදු සාධනීය විසඳුමක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන නැති බවයි ඊයේ කැඳවූ මාධ්‍ය හමුව අමතමින් වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ.
ඒ් අනුව 1996 වසරෙන් පසු විදුලිබල වෘත්තීය සමිති ප්‍රථම වරට වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
වර්ජනය ඇරඹෙන අද දහවල් 12 සිට පැය 24ක් දක්වා කාල සීමාව තුළ තමන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙසයි විදුලි වෘත්තීය සමිති රජයට දැනුම් දෙන්නේ.





