විගණකාධිපතිවරයා පත් කර ගැනීමට විගණන වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සමාජිකයින් තිදෙනාගේ ධුර කාලය ලබන ජනවාරි මස අවසන් වන තුරු විගණකාධිපති තනතුර හිස්ව තබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට ජාතික විගණන කාර්යාලයේ වෘත්තිය සමිති එකමුතුව චෝදනා කරනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් අවධාරණය කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩිම අත්දැකීම් සහිත ජෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා මෙරට විගණකාධිපතිවරයා ලෙස පත් කළ යුතු බවයි.

විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමත් සමගයි.
ඔහු විශ්‍රාම ගොස් දින 40කට වැඩි කාලයක් ගත වී තිබියදීත් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ නම නිර්දේශ කර තිබූ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරුණා. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා තවත් සේවා දිගුවක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විගණකාධිපති ධුරය හිස් වී තිබෙනවා. ධර්මපාල ගම්මන්පිල මහතා මෙරට විගණකාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව වෘත්තිය සමිති ඉල්ලයි

Share