වැලි කැණිමකට එරෙහිව මංගලඑළිය ගැමියෝ පාරට බසිති

මුන්දලම – මංගලඑළිය ගම්මානයේ පුද්ගලික ඉඩමක වැලි කැණීම් සිදුකිරීමට නියමිත බව කියන සිද්ධියකට එරෙහිව එම ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා
ඔවුන් අදාළ ඉඩම ඉදිරිපිට පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණිමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මුන්දලම – මංගලඑළිය ගම්මානය මධ්‍යයේ පිහිටි අක්කර 16ක ඉඩමක් බදු පදනමට ලබා ගත් පුද්ගලයෙකු විසින් එහි වැලි කැණීමකට අවසර ඉල්ලීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් ඊට විරෝධය පළ කර තිබෙනවා
ඔවුන් පවසන්නේ එම කැණීම් හේතුවෙන් ප්‍රදේශය අවට ජල උල්පත් සිඳීයාම සහ පාරිසරික ගැටලු මෙන්ම වැලි ප්‍රවාහනය කිරීමේදී පවතින මාර්ගය ද තවත් අබලන් තත්ත්වයට පත්විය හැකි බවයි.

අදාල වැලි කැණීම සිදු කිරීමට නියමිත ඉඩම තුළ භු විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල නිළධාරීන් විසින් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය ද කැඳවමින් ඒකාබද්ධ පරික්ෂණයක් පවතින අවස්ථාවකයි ප්‍රදේශවාසීන් විසින් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත්තේ.
එම ඒකාබද්ධ පරීක්ෂණය සඳහා පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා ද එක්ව සිටි අතර සභාපතිවරයා විරෝධතාකරුවන් සිටි ස්ථානයට පැමිණිමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එම අවස්ථාවේදී ද දැඩිව ප්‍රකාශ කළේ තමන් අදාළ වැලි කැනීම් කිරීමට ඉඩ නොදෙන බවයි.
මේ අතර, වැලි කැණීමට අදාළව අනුමැතියක් මේ වන තෙක් ලබා දී නොමැති අතර මීළග ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඒ සම්බන්ධ තීරණයක් ගන්නා බවත් එදිනට ප්‍රදේශවාසීන්ට ද තම විරෝධතාවයන් සහ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා කියා සිටියා.

Share