මීමුරේ දක්වා ගමන් කිරීමට විකල්ප මාර්ගයක් ලෙස තංගප්පුවේ සිට කෝබට්ස්ගැප් දක්වා පැවති පැරණි බොරළු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය දා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ගනු ලැබූ තීරණය අත්හිටුවීමට බලධාරීන් අද යළිත් තීරණය කර තිබෙනවා.
දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අතිවූ නායයෑම්වලින් හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා මාර්ගය විනාශ වීම නිසාවෙන් විකල්ප මාර්ගයක් ලෙස මෙම මාර්ගය පිළිසකර කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ නිලධාරීන් තීරණය කර තිබුණේ ඒ හරහා නකල්ස් ලෝක උරුම රක්ෂිතය වනසා දැමීමක් වන බවට පරිසරවේදීන් නගන විරෝධය නොතකමින්.
මී මුරේ ගමට ප්‍රවේශ වීමට විකල්ප මාර්ගයක් ලෙස තංගප්පුවේ සිට කෝබට්ස්ගැප් දක්වා වන මාර්ගය පිළිසකර කිරීමට පසුගිය දෙසැම්බර් 08 වැනිදා කෘෂිකර්ම ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වූ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණා.
ඒ් බව දැනුම් දෙමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණේ නකල්ස් රක්ෂිතය හරහා වැටී ඇති මීමුරේ දක්වා විකල්ප මාර්ගය වීවෘත කිරීමට වන සංරක්ෂණ ජනරාල්වරයාට දැනුම් දීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ නමුත් මෙම විකල්ප මාර්ගය විවෘත කිරීමේ තීරණයට ප්‍රාදේශීය බලධාරීන් පැමිණ තිබුණේ ආපදාවෙන් හානියට පත් හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පිළිසකර කිරීම් අඩක් පමණ ඒ් වන විටත් අවසන් කර ඇති පසුබිමකයි.
තවත් සති දෙකකින් පමණ එම මාර්ගය පිළිසකර කර අවසන් කළ හැකි බව පිලිසකර කිරීම් භාර හමුදා අංශ එම රැස්වීමේදී දැනුම් දී තිබියදී වීම විශේෂයක්.
එසේම විකල්ප මාර්ගය විවෘත කිරීමේ ඉල්ලීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට දැනුම් දෙමින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබුණේ අදාළ මාර්ගය ඉල්ලා කිලෝමීටර් 37 ක් දිගූ මග පා ගමනින් පැමිණි මීමුරේ වැසියන් පිරිසක් ද එදින රැස්වීමට පැමිණ සිටි බවයි.
කෙසේ නමුත් නකල්ස් රක්ෂිතය මැදින් තංගප්පුවේ සිට කෝබට්ස්ගැප් දක්වා මාර්ගය විවෘත කිරීමේ මෙම තීරණය මෙරට පරිසරවේදීන්ගේ දැඩි විරෝධයට හේතුවුණා.
ඔවුන් පෙන්වා දුන්නේ මෙම විකල්ප මාර්ගයේ අවශ්‍යතාවය ඇත්තේ මීමුරේ වැසියන්ට නොව, නකල්ස් රක්ෂිතයේ ජාවාරම් කිරීම ඉලක්ක කරගත් පිරිසකට බවයි.
මේ අතර ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසම ද නකල්ස් ලෝක උරුම රක්ෂිතය මැදින් මාර්ගයක් විවෘත කිරීමට ගත් තීරණ්‍ය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබුණා.
යෝජිත මාර්ගය, මධ්‍යම කඳුකරයේ කොටසක් වන පාරිසරික වශයෙන් අතිශය සංවේදී නකල්ස් රක්ෂිතය හරහා දිවෙන බවත්, රක්ෂිතය හරහා සිදුවන ඕනෑම මාර්ග සංවර්ධනයක්, එය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට හේතුවූ ප්‍රධාන නිර්ණායකයක් වන ස්ථානයේ කැපී පෙනෙන විශ්වීය වටිනාකමට හානි කළ හැකි බවත් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසමේ සභාපති මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ අනතුරු අඟවා තිබුණා.
මේ අතර නකල්ස් රක්ෂිතය හරහා මීමුරේට විකල්ප මාර්ගයක් විවෘත කිරීමට එරෙහිව පරිසරවේදීන් මතුකරන විරෝධයට කෘෂිකර්ම ඇමති කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ ප්‍රතිචාර දක්වා තිබුණා.
කෙසේ නමුත් අදාළ මාර්ගය විවෘත කිරීමේ තීරණය අත්හිටුවන ලද බව අද මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබුණා.





