ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් t20 ජාත්‍යන්තර තරගවල සිය ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තා අලුත් කරන්නට ඊයේ සමත් වුණා.
ඒ දෙරට අතර පැවති සිව්වැනි තරගයේ දී.
කෙසේ වෙතත් මෙම තරගයත් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 30කින් පරාජය වුණා.
තිරුවානන්දපුරම්හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
පෙර පැවති තරග 3 ම ජයගත් ඉන්දීය කණ්ඩායම ඊයේ තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව පිටියට පිවිසි අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 221ක් රැස් කර ගත්තා.
මෙය ඉන්දීය කාන්තා කන්ඩායමක් ජාත්‍යන්තර t20 තරගයකදී රැස් කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
මීට පෙර ඔවුන් විසින් රැස්කරගත් ඉහළම ලකුණු පුවරුව ලෙස දැක්වූයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 04ක් දැවී රැස්කරගත් ලකුණු 217 යි.
ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ස්ම්රිති මන්දානා පන්දු 48ක් තුළදී ලකුණු 80ක් රැස්කර ගැනීම සමත් වුණා.
තරගය අතරතුර මන්දනා ජාත්‍යන්තර පිටියේ ලකුණු දස දහසේ (10,000) සීමාව පසු කිරීමට සමත් වුණා.
මෙලෙස ජාත්‍යන්තර පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ සිව් වන ක්‍රීඩිකාව ඇය වන අතර එම සීමාව පසු කළ දෙවැනි ඉන්දීය ක්‍රීඩිකාවයි.
මන්දනාට අනගි සහයක් වූ ෂෆාලි වර්මා ලකුණු 79ක් රැස්කර ගැනීමට සමත් වුනා.
ආරම්භ කඩුල්ලට ලකුණු 162ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වූ මන්දනා සහ ෂෆාලි වර්මා, ඉන්දියාව වෙනුවෙන් t20 තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවයේ වාර්තාවටද හිමිකම් කීමට සමත් වුණා.
ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 191ක් පමණයි.
මෙය වාර්තා පොත් අතරට එක්වූයේ ජාත්‍යන්තර t20 තරගයක දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විසින් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙවර තරගාවලිය පුරාවටම දක්ශතා අතරට පැමිණීමට නොහැකිවූ නායිකා චමරි අතපත්තු ලකුණු 52ක් රැස්කර ගත්ත ද ඇයට ජයග්‍රහණය තෙක් කණ්ඩායම කැඳවාගෙන යෑමට හැකි වූයේ නැහැ.
ඇයගේ ඉණිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.
පන්දු යැවීමේදී අරුන්දතී රෙඩ්ඩි සහ වෛෂ්ණාවි ෂර්මා අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.
තරගාවලියේ අවසන් තරගය හෙට තිරුවානන්දපුරම්හි පැවැත්වීමට නියමිත අතර පූර්ණ තරගාවලි පරාජයක අවමානයෙන් මිදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එම තරගය ජය ගැනීම අනිවාර්‍ය වී තිබෙනවා.





