වසර 73කට පසු සිනමාවට නැගෙන කැලෑහඳ

මෙරට සාහිත්‍ය ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් එක් කළ ඩබ්ලිව් ඒ සිල්වාගේ කැලෑහඳ නව කතාව ඇසුරෙන් මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු, සාහිත්‍යධරයෙකු මෙන්ම ගේය පද රචකයෙකු ද වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කැලෑහඳ සිනමා සිත්තම යළිත් රිදී තිරයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
1953 වසරේදී බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් කැලෑහඳ ප්‍රථම සිනමා සිත්තම මෙරට ප්‍රේක්ෂකයින්ට තිළිණ වූ අතර, කැලෑහඳ යළි සිනමාවට නැගෙන්නේ වසර 73කට පසුවයි.

රහසේ පායා ආ කැලෑ හඳ නමින් ප්‍රවීණ නව කතාකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කැලෑහඳ නව කතාවේ අනුවර්තනයක් ලෙස මෙම චිත්‍රපටය යළි සිනමාවට නැගීමේ කටයුතු මේ දිනවල ලහිලහියේ සිදු කෙරෙනවා.
මාහාචාර්ය සුනිල් ආරියරත්නයන් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ඩීන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ආචාර්ය රවි ලියනගේ මහතායි.
ආචාර්ය රවි ලියනගේ මහතා මීට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කදිර දිව්‍ය රාජ චිත්‍රපටයේද නිෂ්පාදකවරයායි.
කැලෑහඳ මුල් චිත්‍රපටයේ ජයපාල ලෙස රඟපෑ ස්ටැන්ලි පෙරේරා වෙනුවට මෙවර රවීන් කණිෂ්කත්, එදා මාලනි ලෙස රඟ පෑ රුක්මණි දේවි වෙනුවට මෙදා දසුනි සෙනෙත්මාත් රංගනයෙන් දායක වනවා.
එදා රීටා රත්නායක රඟ පෑ ඩේසි ගේ චරිතය මෙදා නෙතු ගම්ලත් නිරූපනය කරන රහසේ පායා ආ කැලෑහඳ චිත්‍රපටයට ප්‍රවීණ රංගන ශිල්පින් වන සේමිනි ඉද්දමල්ගොඩ, දුලිකා මාරපන, කුමාර තිරිමාදුර ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වනවා.
එදා බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වූ කැලෑහඳ චිත්‍රපටයට ඇසුරින්‍‍ පසු කාලීනව චිත්‍රපට හා ටෙලි නාට්‍ය බිහි වුවද ඩබ්ලිව්.ඒ. සිල්වා පදනමෙන් නිත්‍යානුකූල අවසරය සහිතව මෙවර කැලෑහඳ චිත්‍රපටය යළි රිදී තිරයට ගෙන ඒමත් විශේෂත්වයක්.
දශක හතකට වැඩි කාලයක් කැලෑ හඳ නව කතාවට මෙන්ම මුල් සිනමා සිත්තටම පෙම් කළ මෙරට සුවහසක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට වෙනස් අත්දැකීමක් තිලිණ කරන්නට මෙම කැලෑහඳ චිත්‍රපටය හැකිවන බවනම් නොඅනුමානයි.

Share