වසර 54ට පසු සිදුවන Artemis II චන්ද්‍ර මෙහෙයුම සිව්වැනි දිනය අදයි

වසර 54ට පසු සිදුවන Artemis II චන්ද්‍ර මෙහෙයුම සිව්වැනි දිනය වන විට ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් යානය මේ වන විට පෘථිවියට වඩා සඳට සමීප වෙමින්, චන්ද්‍රයා වෙත ගමනින් තුනෙන් දෙකක දුරක් සම්පූර්ණ කර අවසන්.
ඔවුන් මානව ඉතිහාසයේ වැඩිම දුරක සිට කළ සජීව රූපවාහිනී සාකච්ඡාව සඳහා NBC සහ CBS නාලික සමග ද සිව්වැනි දිනයේ දී සම්බන්ධ වුණා.
සාකච්ඡාව පැවැත්වුණේ පෘථිවියේ සිට කිලෝමීටර් 287,000 ක දැවැන්ත දුරකින් ගමන් කරන අතරතුරයි.
අභ්‍යවකාශයේ සිය සිව්වන දිනය සාර්ථකව ගත කරමින් සිටින ගගනගාමීන් පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් නාසා ආයතනය විසින් පවත්වන දෛනික මාධ්‍ය සාකච්ඡාවට SLS රොකට් වැඩසටහනේ කළමනාකරු ජෝන් හනිකට්, පියාසැරි අධ්‍යක්ෂ ජඩ් ෆ්‍රීලිං, ඔරායන් වැඩසටහනේ නියෝජ්‍ය කළමනාකාරිනී ඩෙබී කෝර්ත් සහ නාසා විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී කෙල්සි යන්ග් යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.
ගුවන්ගත වීම ගැන අදහස් දක්වමින් ජෝන් හනිකට් ප්‍රකාශ කළේ, ඔරායන් යානය නිවැරදි කක්ෂයට තල්ලු කර හැරීම සඳහා දැවැන්ත SLS රොකට්ටුව 99.92% ක ඉලක්කගත නිරවද්‍යතාවයකින් යුතුව ක්‍රියා කළ බවයි.
එය ආටෙමිස් I මෙහෙයුමටත් වඩා ඉහළ සාර්ථකත්වයක් වීම විශේෂත්වයක්.
මේ අතර හෙට දිනයේ සිදුවීමට නියමිත චන්ද්‍ර සමීප පියාසැරිය ගැන අදහස් දැක්වූ කෙල්සි යන්ග් ප්‍රකාශ කළේ, එදින ඔරායන් යානයේ සිට බලන විට සූර්යයා සහ යානය අතරට සඳ පැමිණීමෙන් අතිශය දුර්ලභ සූර්යග්‍රහණයක් දැකගත හැකි බවයි.

පෘථිවියේ සිට බලන විට අපට සඳ සහ සූර්යයා එකම ප්‍රමාණයේ ලෙස දැකගැනීමට හැකි වුව ද ගගනගාමීන්ට සඳ පෙනෙන්නේ සූර්යයාට වඩා විශාල ලෙස බව කෙල්සි පැවසුවා.

පෘථිවියේ සිට කිලෝමීටර් 287,000 ක දැවැන්ත දුරකින් ගමන් කරන අතරතුර, ආටෙමිස් II ගගනගාමීන් ඇමරිකාවේ NBC සහ CBS ප්‍රධාන රූපවාහිනී නාලිකා සමඟ සජීවීව සම්බන්ධ වුණා.
මෙය මානව ඉතිහාසයේ වැඩිම දුරකින් සිට සිදුකළ සජීවී රූපවාහිනී සාකච්ඡාව ලෙස ඉතිහාසගත වනවාත
පෘථිවියට සහ සඳට හරියටම මැදින් ගමන් කරන ඔවුන්ට පෙනෙන දසුන අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් විස්තර කළේ මෙලෙසින්:

“මේක ඇත්තටම අදහාගන්න බැරි දසුනක්. අපේ එක පැත්තකින් පෘථිවිය සම්පූර්ණයෙන්ම අඳුරේ තියෙනවා පේනවා. අනිත් පැත්තෙන් සඳට සම්පූර්ණයෙන්ම හිරු එළිය වැටිලා තියෙනවා. මේ ග්‍රහ වස්තු දෙකටම මැදින් ඉන්න කෙනෙකුට හැර මේ වගේ දර්ශනයක් කවදාවත් බලාගන්න බැහැ.”
මේ අතර නාසා හි ආටෙමිස් II මෙහෙයුමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ගන්නා ලද සඳෙහි දසුනක් මේ වන විට නාසා ආයතනය නිකුත් කර තිබෙනවා.
එහි දකුණු කෙළවරේ ඔරියන්ටල් ද්‍රෝණියේ කොටසක් දෘශ්‍යමාන වන අතර මෙම මෙහෙයුම මුළු ද්‍රෝණියම මිනිස් ඇසින් දුටු පළමු අවස්ථාව සනිටුහන් කරනවා.

සඳ බලා යන අතිශය දුෂ්කර ගමනේ දී ආටෙමිස් II ගගනගාමීන් ඉතාම තීරණාත්මක පරීක්ෂණයක් සාර්ථකව අවසන් කළා.
ඒ ඔරායන් යානය ස්වයංක්‍රීය නියමුවාගෙන් මුදාගෙන අතින් පාලනය කිරීමයි.
ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 9:09 ට පමණ, නාසා ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් මාරුවෙන් මාරුවට යානයේ පාලනය සියතට ගත් අතර මිනිත්තු 41ක කාලයක් ඔවුන් කුඩා රොකට් එන්ජින් ක්‍රියාත්මක කරමින්, අභ්‍යවකාශයේදී යානය හැසිරෙන ආකාරය පරීක්ෂා කළා.
මෙය අනාගත ආටෙමිස් මෙහෙයුම්වලදී යානය සඳ මතට ගොඩබස්වන ලෑන්ඩරය (HLS) සමඟ සම්බන්ධ කරන අවස්ථාවන්හිදී අතිශයින්ම වැදගත් වනු ඇති.
ගගනගාමීන් මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් ලක්ෂ 3 සීමාව පසුකර තිබෙනවා.
අද පෙරවරු 10ට ලැබුණු දත්ත අනුව ඔවුන් පෘථිවියේ සිට කිලෝමීටර් 318,194 ක් ඈතින් ගමන් කරමින් සිටියා.
ඒ අනුව සඳ වෙත ඇත්තේ තවත් කිලෝමීටර් 143,094 ක දුරක් පමණයි.

Share