වයඹ දෙසින්, කේන්ද්‍රගතව පැවති ‘දිට්වා’ සුළි කුණාටුව අද දින උතුරට බරව වයඹ දෙසට ගමන් කර, හෙට දින ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට

ඊයේ දින පෙරවරු 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 70 ක් වයඹ දෙසින්, කේන්ද්‍රගතව පැවති ‘දිට්වා’ සුළි කුණාටුව අද දින උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇති බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
මේ හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට සිට අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍ර ගතවී උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් එහි බලපෑම අද දිනයේ දීත් පවතින බවත් හෙට සිට දී සුළිකුණාටුවේ බලපෑම අඩු වීම ආරම්භ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ මෙම ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය 24ක කාලය තුළ තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළුවීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට මේ වන විටත් අවවාදාත්මක නිවේදන නිකුත්කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.
එරට මාධ්‍ය සදහන් කරන්නේ ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් ඇති බවයි.
මේ නිසා ද්කුනු ඉන්දියාවේ ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් ඇතිවිය හැකි බවද ඉන්දිය කාලගුණ අංශ නිවේදනය කරනවා.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ දිස්ත්‍රික්න 25කට අයත් ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 285කට බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් අද පෙරවරු 9,00 වන විට පවුල් 102877ක පුද්ගලයින් 373,428 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
එමෙන්ම අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළ වාර්තාවන්ට අනුව අද පෙරවරු 6 වන විට පුද්ගල මරන 123ක් වාර්තා වී ඇති අතර තවත් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදහන්ව සිටින බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් නිල නොලත් වාර්තාවල දැක්වෙන්නේ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වන විට දිවයින පුරා පුද්ගල මරණ………… වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල වාර්තාවට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් මෙන්ම වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 51ක් වාර්තා වන අතර, තවත් පුද්ගලයින් 67 දෙනෙක් අතුරුදන්වී තිබෙනවා.
ඒ හැරුණු විට බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 35ක් වාර්තා වෙද්දී, අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලෙස මෙම වාර්තාවේ දැක්වෙන්නේ 27ක්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මරණ නවයක් වාර්තා වන අතර තවත් 24 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මාතලේ දිස්ත්‍රික්කයෙන් ද පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 8ක් වාර්තා වී ඇති අතර, අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක්.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ06ක් වාර්තා වී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයෙන්ද තවත් මරණ 5ක් වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ තුනක් වාර්තා වනවා.
මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආපදා තත්ත්වයන් හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙකක්.
ඊට අමතරව ගාල්ල, අනුරාධපුර, හම්බතොට සහ යාපනය දිස්ත්‍රික්ක වලින් මරණ 01 බගින් වාර්තා වනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහෙන් දිස්ත්‍රික්ක 12කම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සහ අතුරුදහන්වීම් වාර්තා වෙනවා.
මීට අමතරව සුරක්ෂිත මධ්‍යස්තාන 488ක පුද්ගලයින් 43,925දෙදනෙකු රඳවා සිටින බව ද එහි දැක්වෙනවා.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්ථා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයායටත් මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ දත්ත පෙන්වා දෙනවා.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල ප්‍රදේශයටත් මි.මී 266.2ක වර්ෂාපතනයක් ලැබී අති බව අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කළ නවතම වර්ෂාපතන වාර්තාවේ සඳහන් වෙනවා.
මේ එම වාර්තාවේ සඳහන් වී තිබුණු මිලිමීටර දෙසියට වැඩි අගයක් ගත් වර්ෂාපතනයන් පිළිබඳ තොරතුරු කීපයක්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ……………..
වල්පොලකන්ද – මි.මී 247.8
මහරච්චිමුල්ල – මි.මී 225
ලිහිණිවෙහෙර – මි.මී 213.8
දඹදෙණිය – මි.මී 184.6
වුඩා – මි.මී 183.4
කෑගල්ල දිස්ත්‍රික්කයේ…………..
අරනායක – මි.මී 240.6
අලව්ව – මි.මී 236
කොටවැල්ල – මි.මී 228.8
වරකාපොළ – මි.මී215.8
ගලපිටමඩ – මි.මී 210.8
මොරොන්තොට – මි.මී 205.4
බෝයගම – මි.මී 192.8
නුවරඑළිය දිස්ත්‍රික්කයේ………….
වටවල – මි.මී 202.8

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රධාන ගංගා වල ජල ධාරීතාවන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනය අනුව කැලණි ගඟේ හංවැල්ලේ ජල මාපකයේ අද උදෑසන නවය වන විට මීටර 10.60ක් ලෙසින් සටහන්ව තිබුනා.
එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ ගං වතුර තත්ත්වය තවදුරටත් ඉහල යමින් පවතින බවයි.
එමෙන්ම ග්ලෙන්කෝස් ජල මාපකයේ අද උදෑසන නවය වන විට දැක්වෙන තත්ත්වය ලෙස සඳහන් කර ඇත්තේ මීටර් 21.39ක් ලෙසින් .
කෙසේ වෙතත් අද උදෑසන අටට ග්ලෙන්කෝස් ජල මාපකයේ සටහන් වී තිබුණේ මීටර 21.47ක් ලෙසින්.
ඒ අනුව එම ප්‍රදේශයේ ගංවතුර තත්වය ක්‍රමයෙන් පහළ බසින බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කිතුල්ගල ජල මාපකයේ තත්ත්වය මීටර් 3.15ක් ලෙසින් දැක්වුන ද ගංවතුර අවධානම පහව ගොස් නොමැති බවයි.
මේ හැරුණු විට කළුගඟ මිල්ලකන්ද ජල මාපකය අද උදෑසන නවය වන විට සටහන් වන්නේ මීටර 8.3ක් ලෙසින්.
ඒ අනුව එම ප්‍රදේශයට දැඩි ගං වතුර අවදානම් නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රදේශයේ ගංවතුර අවධානම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි
මේ අතර මහඔය, අත්තනගලු ඔය, යන ගංගා දෙකේම ජල තත්ත්වයන් සීග්‍රයෙන් ඉහළ නගිමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්.
ඒ අනුව මහඔයේ බඩල්ගමුව ජල මාපකයේ අද උදෑසන අට වන විට මීටර් 13.50ක් ලෙස සටහන්ව තිබූ උපරිම ගං වතුර තත්ත්වය උදෑසන නවය වන විට සටහන් වී තිබුණේ මීටර් 13.46ක් ලෙසින්.
එමෙන්ම ගිරිඋල්ල ජලමාපකයේ අද උදෑසන අටට මීටර් 12.51ක් ලෙස සටහන් වී තිබු උපරිම ගංවතුර තත්ත්වය අද උදෑසන නවය වන විට මීටර් 12.49ක් දක්වා පහත බැස තිබුණා.
මේ හැරුණු විට අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයේ අද උදෑසන අටවන විට මීටර 6.96ක් ලෙස සටහන් වී තිබූ උපරිම ගංවතුර මට්ටම උදෑසන නවය වන විට සටහන් වී තිබුණේ මීටර 6.92ක් දෙකක් ලෙසින්.
ඒ අනුව මෙම ප්‍රදේශවල ගංවතුර අවධානම ක්‍රමයෙන් පහළ බසමින් පවතින නමුත් තවමත් මහ ගංවතුර අවදානම පහව ගොස් නැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Share