වත්කම් බැරකම් ප්‍රකාශ මාර්ගගත ක්‍රමයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හඳුන්වා දෙනු ලැබුවා.
එම අවස්ථාවට එක් වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසුවේ මහජන මුදල් සමඟ ගණුදෙනු කරන රාජ්‍ය නිලධාරීන්ගේ විනිවිද භාවය ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
එමෙන්ම වත්කම් බැරකම් ජනගත කිරීම තුළ එම දත්ත අපහරණය කිරීම වැළැක්විම සඳහා අවශ්‍ය නිතිමය රාමුවක් සකස් කිරිම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුවූයේ මුද්‍රිත ක්‍රමවේදයක් යටතේයි.
කෙසේ වෙතත් දූෂණ විරෝධි පනත මගින් ඇති කළ ශත්තිමත් නෛතික රාමුව ප්‍රායෝගිකව බල ගැන්වීම අරමුණු කර ගනිමින් දූෂණ මර්දන කර්ත්‍යවයට නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් කිරීම උදෙසා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හඳුන්වා දිමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණා.
ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීම අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි සිදු කෙරුණා.
මෙලෙස ඩිජිටල් කරණයට ලක්‍ කර ඇති මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය මගින් සාවද්‍ය ආකාරයෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්වයන් හඳුනාගැනීම සඳහා සත්‍යාපන පහසුකම්ද සලසා තිබෙනවා.

Share