ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ලබන නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ලබන නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සංවත්සර කමිටු සභාපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුනා.
එහි දී මෙම සම්මේලනය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නා.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය සමරු උළෙල සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සියලුම බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50 ක නියෝජිතයන් 600ක් පමණ මෙම සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිතයි
මෙහිදී සංවත්සර උත්සවය ජාතික මට්ටමේ වැදගත් කමකින් යුතුව සංවිධානය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද පැවසුවා.
එමෙන්ම වැඩසටහන පැවැත්වෙන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත ගොස් එහි යටිතල පහසුකම් සහ ඉදිරි සැලසුම් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා.

Share