ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උද්වේගකර ක්‍රිකට් සංග්‍රාමය වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද

T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උද්වේගකර ක්‍රිකට් සංග්‍රාමය වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ පැය 7ක් පමණයි.
සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වූ තරගය පැවැත්වෙන්නේ එකවර 35,000කට තරගය නැරඹිය හැකි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි ටීවී සුප්‍රීම් ඔස්සේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.
2026 T 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නට පෙර සිටම වඩාත් ආන්දෝලනයට තුඩු දුන්නේ ක්‍රීඩාවට ඉහළින් භූ දේශපාලනික අර්බුද ඉස්මතු වීම හේතුවෙන්.
එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශයට තරගාවලිය අහිමි වූ අතර ඔවුන්ට සහය පල කිරීමේ පියවරක් ලෙස ඉන්දියාව සමග A කාණ්ඩයේ තරගය වර්ජනය කරන බවට පාකිස්තානය තර්ජනය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගෙන් කළ ඉල්ලීම් සහ අයිසීසීය සමග පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තානයට අවසර හිමිවුණා.
මේ තරගය නැරඹීමට පැමිනෙන 35000ට අධික ක්‍රීඩා ලෝලීන්ට පස්වරු තුනේ සිට ක්‍රීඩාංගනයේ දොරටු විවෘත වන අතර එම කාලසීමාව තුළ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය ද සීමා කරන බව පොලිසිය පැවසුවා.
මේ වන විටත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසලට ක්‍රීඩාලෝලීන් පැමිණ සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බෙංගාල බොක්කෙහි වර්ධනය වන අඩු පීඩන පද්ධතියක් පිළිබඳව අනතුරු අඟවා ඇති අතර, එය අද පස්වරුවේ පැවැත්වෙන තරගයට බාධා කළ හැකි වැසි ඇති වීමේ ඉහළ අවදානමක් පෙන්නුම් කරනවා.

ඉන්දියාව සහ පාකිස්තානය ලෝක කුසාලන T20 තරග 8ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් අවස්ථා 7ක දීම ඉන්දියාව ජයගෙන තිබෙනවා.
අවසන් වරට කාණ්ඩායම් දෙක හමු වූයේ ආසියානු කුසලාන තරගාවලියේ දී වන අතර එම තරගාවලියේ අවසන් තරගය ඇතුලු තරග තුනක දීම පාකිස්තානය ඉන්දියාව හමුවේ පරාජය වුණා.

Share