ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2026 ICC T20 ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති කිහිපයක් පමණයි.
එවන් පසුබිමක ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වැලකීමේ තීරණය වෙනස් නොකරන බව බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය යළි අවධාරණය කරනවා.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද ක්රීඩකයෙකුගේ ඉන්දියානු වීසා ප්රතික්ෂේ වී ඇතැයි ද වාර්තා වුණා.
පෙබරවාරි 7 වැනිදා t20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබිය දී, බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය ඊයේ යළි තහවුරු කළේ ඉන්දියාවේ දී පැවැත්වෙන ඔවුන්ගේ මූලික වටයේ තරඟ සඳහා සහභාගී නොවීමේ ස්ථාවරය වෙනස් නොකරන බවයි.
ඉන්දියාව තුළ පවතින දේශපාලන වාතාවරණය මත තම ක්රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ඊට හේතුව බව බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය පවසනවා.
බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ තමන් සහභාගීවන තරඟ සියල්ල සම සත්කාරක රට වන ශ්රී ලංකාවේ දී පවත්වන ලෙසයි.
කෙසේ වෙතත්, අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය අවධාරණය කරන්නේ තරඟ කාලසටහන මේ වන විටත් අවසන් කර ඇති බැවින්, හදිසි වෙනස්කම් සිදු කිරීම ප්රායෝගික නොවන බවයි.
බංග්ලාදේශය මෙම තීරණය ක්රියාත්මක වුවහොත් ඔවුන්ට මෙවර ලෝක කුසලානය අහිමි වීමට පවා ඉඩ තිබෙනවා.
මෙම අර්බුදය හට ගත්තේ අයි.පී.එල්. වෙන්දේසියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් මිලදී ගත් බංග්ලාදේශ වේග පන්දු ක්රීඩක මුස්ටෆිසූර් රහ්මන් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් මත ඉවත් කිරීමයි.
ඒ අනුව බංග්ලාදේශය තුළ ipl විකාශයනය ද තහනම් කෙරුණා.
ලෝක කුසලාන තරඟ කාලසටහනට අනුව බංග්ලාදේශය සිය පළමු තරඟය පෙබරවාරි 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටා හි ඊඩ්න් ගාඩන්ස් ක්රීඩාංගණයේදී ක්රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, මේ අතර, ඇමරිකානු කණ්ඩායමේ ප්රමුඛ වේග පන්දු යවන ක්රීඩක අලි ඛාන් සිය ඉන්දීය වීසා අයදුම්පත්රය ප්රතික්ෂේප වූ බව, නිල Instagram ගිණුමේ සඳහන් කර තිබෙනවා.
35 හැවිරිදි අලි ඛාන් පාකිස්ථානයේ උපත ලබා පසුව අමෙරිකාවට සංක්රමණය වූ අයෙක්.
එමෙන්ම පාකිස්තානු සම්භවයක් ඇති ක්රීඩකයින් වන ෂයාන් ජහන්ගීර්, මොහොමඩ් මොහ්සින් සහ එහ්සාන් අදිල් ද පාකිස්තාන සම්බවයක් සහිත ක්රීඩකයින් වන බැවින් මෙම ගැටලුවට මුහුණ දෙනු ඇතැයි සඳහන්.
එමෙන්ම ඉතාලිය, ඔ්මානය වැනි කණ්ඩායම්වලද පාකිස්තාන සම්බවයක් සහිත ක්රීඩකයින් ඇතුළත් වන බැවින් ඉදිරියේ දී වීසා ගැටලුව වඩාත් බරපතළ ලෙස මතු වනු ඇතැයි ක්රීඩා විචාරකයින් බිය පලකරනවා.
එසේ වුවහොත් තරගාවලියේ පැවැත්ම ද බරපතළ ලෙස අභියෝගයකට ලක්වනු ඇති.





