අද අළුයම තුනට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේ විශේෂ මුර සංචාරයක යෙදී සිටි ඇල්පිටිය කොට්ඨාශ පොලිස් යතුරුපැදී ඒකකයේ නිලධාරීන් විසින් ගාල්ල දෙස සිට පැමිණි ලොරි රථයක් නවත්වන ලෙසට අණ කර තිබෙනවා.
එහෙත් එම අණ නොකතා අදාළ ලොරි රථය ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් අදාළ ලොරි රථය හඹාගොස් තිබුණා.
කිලෝමීටර් 4කට ආසන්න දුරක් ලොරි රථය පසුපස හඹා යාමෙන් අනතුරුව බලපිටිය මහාකරාව ප්‍රදේශයේදී එම ලොරි රථයට වෙඩි තබා නවතාගෙන තිබුණා
එම අවස්ථාවේ ලොරි රථය තුළ මස් පිණිස රැගෙන යමින් සිටි එළ ගවයන් 14 දෙනෙකු සිට ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු සිට තිබුණා.
කෙසේ වෙතත් ලොරි රථය නතර කිරීමෙන් පසු එහි රියදුරු පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබුවා.
වෙඩි තැබීමෙන් ලොරි රථයේ සිටි එක් ගවයෙකුටද තුවාල සිදුව ඇති අතර තවත් ගවයෙකු ලොරි රථය තුළම ගෙල කපා මරා දමා සිටි බවයි පොලිසිය පවසන්නේ.
දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ වීර කැටියේ සිට දර්ගා නගරය දක්වා මස් පිණිස මෙම එල ගවයන් රැගෙන යමින් සිට ඇති බවයි.
පලා ගිය ලොරි රථයේ රියදුරු සොයා මේ වන විට පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.





