ලෙඩ ඉවර නැති වෙදැදුරෝ

හෙට උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමට සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි. අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 8ට වැඩවර්ජනයක නිරත වුණා. හදිසි වර්ජනය හේතුවෙන් පීඩාවට පත් වුණේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාවයි. මේ අතර හෙට උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද අවසන් කෙරුණා. චෝදනාවන්ට ලක්වූ අක්කරේපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත වර්ජනය අවසන් කර තිබෙනවා.

Share