යුරෝපයේ ඇති සුන්දරතම රාජ්‍යයක් වන ලිතුවේනියානු ජනරජයේ 108 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සුබපැතුම් පළ කරමින් මෙරට ලිතුවේනියානු කොන්සල්වරයා වන ආර්.එම්. මනිවන්නන් මහතා ලිතුවේනියා රජය හා සමස්ත ලිතුවේනියානු ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් එක් කරනු ලබනවා.
ලිතුවේනියානු ජන රජය සිය 108 වැනි නිදහස් දිනය සමරන 2026 වසරේදී ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා ද වසර 30ක් සම්පූර්ණ වීම විශේෂත්වයක්.
කලක් යුරෝපයේ පිහිටි විශාලතම රාජ්‍යයක කොටස් කරුවෙක් ලෙසින් පැවති ලිතුවේනියාව, විටින් විට ලෝක බල දේශපාලනයේ ග්‍රහණයට නතුව සිට, යළි ස්වාධීන රාජ්‍යක් ලෙස තහවුරු වෙමින්, 1918 දී ලිතුවේනියානු නිදහස් පනත අත්සන් තැබීම සිදු කළ දිනය ලිතුවේනියානු ජාතික දිනය ලෙස සමරනු ලැබනවා.
ඉන්පසු, දෙවන ලෝක යුද සමයේ යළි සෝවියට් සමූහාණ්ඩුවේ පාලනයට නතුවූ ලිතුවේනියාව, 1990 මාර්තු 11 දා යළිත් වරක් සෝවියට් පාලනයෙන් ස්වාධිනත්වය ප්‍රකාශයට පත්කළේ, සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ප්‍රකාශයට පත්කළ පළමු රට වශයෙන්.
මේ වනවිට යුරෝපා සංගමයේ, යුරෝපා කවුන්සිලයේ මෙන්ම නේටෝවේ ද සාමාජිකයෙක් වන ලිතුවේනියාව, සිය රටටම ආවේණික සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගනිමින් සහ ආර්ථික ඉලක්ක තහවුරු කරගනිමින් යුරෝපා කලාපයේ තම අනන්‍යතාව තහවුරු කරගෙන සිටිනවා.
ලිතුවේනියානු ජනරජයේ 108 වැනි ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් පළ කරමින් මෙරට ලිතුවේනියානු කොන්සල් වරයා වන ආර් එම්. මනිවන්නන් මහතා පවසා සිටියේ 2026 වසරේ දී ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර, නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 30 සම්පූර්ණ වන බවත්, සබඳතා ශුභවාදීව ඉදිරියට ගමන් කරද්දී, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වෙමින්, ජනතාව අතර පුළුල් ආර්ථික, විද්‍යා හා තාක්ෂණ, නවෝත්පාදන, සාමාජයීය සබඳතා මෙන්ම අධ්‍යාපනික හා සංස්කෘතික සම්බන්ධතා ද ශක්තිමත් කර ගනිමින් දෙරටේ සහයෝගීතාවය නව ක්ෂේත්‍ර කරා ද විහිද යමින් පවතින බවයි.
එම සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා මුලපිරීම් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් කොන්සල්වරයා වැඩිදුරටත් සඳහන් කරන අතර, අද සමස්ත ලිතුවෙනියාව පුරාම නිදහස් දින සැමරුම් වැඩසටහන් මහත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙනවා.





