ලන්ඩන් මැරතන් තරගයේදී සාවේ ඉතිහාසය අලුත් කරයි

ලන්ඩන් මැරතන් තරග ඉතිහාසයේ ප්‍රථමවරට නිල තරගයක් තුළ පැය දෙකකට වඩා අඩු කාලයකින් නිම කළ ක්‍රීඩකයා ලෙස කෙන්යාවේ සබැස්ටියන් සවේ වාර්තා අතර එක්වුණා.

30 හැවිරිදි සවේ මෙම ජයග්‍රහණය වාර්තා කළේ පැයයි, මිනිත්තු 59 යි, තත්පර 30 ක කාලයකින්.

මෙය 2023 වසරේදී අභාවප්‍රාප්ත කෙල්වින් කිප්ටම් විසින් තබා තිබූ පැය 2:00:35 ක ලෝක වාර්තාව මිනිත්තුවකට වඩා වැඩි කාලයකින් බිඳ දැමීමක්.

ප්‍රකට ක්‍රීඩක එලියුඩ් කිප්චෝගේ 2019 වසරේදී පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දුර දිව ගියද, එය පාලිත තත්ත්වයන් යටතේ නොපැවැත්වූවක් බැවින් නිල ලෝක වාර්තාවක් ලෙස පිළිගනු ලැබුවේ නැහැ.

තරගයේ අඩක් නිම කරන විට මිනිත්තු 60:29 ක කාලයක් වාර්තා කර සිටි සවේ, දෙවන භාගයේදී සිය වේගය තවත් වැඩි කළා.

අවසන් කිලෝමීටර් 10 දී ඔහුට අභියෝගයක් වූයේ මංගල මැරතන් තරගයට සහභාගී වූ යොමිෆ් කෙජෙල්චා පමණයි.

කෙජෙල්චා ද පැය දෙකකට අඩු කාලයකින් එනම් 1:59:41 තරගය නිම කරමින් දෙවන ස්ථානය දිනා ගත්තා.

තුන්වන ස්ථානය දිනාගත් ජාකොබ් කිප්ලිමෝ ද පැරණි ලෝක වාර්තාවට වඩා වේගවත්ව, පැය 2:00:28 කදී තරගය නිම කළා.

Share