ලකුණු 140ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වෙයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ නවසීලන්තය ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 140ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගත්තා.
මේ පිළිබඳ තොරතුරු සමගින් කෙළිබිමේ තතු විශේෂාංගය දැන්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත ඒ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස්කර ගත්තා.
විශිෂ්ට පිතිකරණයක නියැළුණු කමිල් මිශාර පන්දු 49කින් ලකුණු 71ක් රැස් කළා.
සහන් ආරච්චිගේ ලකුණු 66ක් සහ මිලාන් රත්නායක ලකුණු 53ක් ලැබුවා.
ලකුණු 262ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ඒ කණ්ඩායමට පන්දුවාර 28යි පන්දු 4ක් තුළදී සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 121ක් පමණයි.
නවසීලන්ත ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේල් පිලිප්ස් පන්දු 17කින් ලකුණු 30ක් ලබා ගත්තා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා.
තරගාවලියේ දෙවැනි එක්දින තරගය ලබන 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ දේශීය විකශන අයිතිය ටීවී සුප්‍රීම් වෙත හිමිව තිබෙනවා.

Share