ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ රාමුව යටතේ හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්රාමය සඳහා අයදුම් කර ඇති සේවකයින්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා විදුලි සේවකයින් පිරිසක් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපියේ සදහන් වන්නේ ස්වේච්ඡා විශ්රාමය සඳහා නියමිත දිනය රජය මගින් ප්රකාශයට පත්කිරීම දිනෙන් දින කල්යාම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේ දි ස්වේච්ඡා විශ්රාම යෝජනා ක්රමය යටතේ විශ්රාම ගැනීමට අයදුම් කර ඇති 2,173ක් වූ සේවක පිරිසක් දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවයි මෙම පිරිස පවසන්නේ.
වහාම ඊට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලමිනුයි විදුලි සේවකයින් පිරිසක් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර ඇත්තේ.
එම ලිපියේ සදහන් වන්නේ රජය විසින් හඳුන්වා දුන් මෙම ස්වේච්ඡා විශ්රාම ක්රමය පිළිබඳ නිල ප්රකාශ, නියමයන් සහ පොරොන්දු මත විශ්වාසය තබා එයට අයදුම් කළ බවයි.
කෙසේ වෙතත් එම ක්රමය යටතේ සේවකයින්ගේ අනාගත ජීවිත සැලසුම්, ආර්ථික වගකීම් සහ පවුල් තීරණ සකස් කර තිබුණද, මෙය සිදුකෙරෙන නිශ්චිත දිනයක් ප්රකාශ නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසාධාරණ තත්ත්වයකට පත්ව සිටින බවත් එම නිවේදනයේ සදහන්.
මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉතා කඩිනමින් සාධනීය සහ සාධාරණ විසදුමක් ලබාදෙන මෙන් රජය දැනුවත් කරන ලෙසද ලිපිය මගින් මහානායක හිමියන්ගෙන් ඉල්ලා තිබෙනවා.





