රෝහල් කොරිඩෝවේ තැන්පත් වූ මෘත ශරීර

මෘත ශරීර මතට අයිස් දමා ට්‍රොලිවල තැන්පත් කර තංගල්ල මූලික රෝහලේ කොරිඩෝවක තබා ඇතැයි ටීවී සුප්‍රීම් නිවුස් අපට වාර්තා වුණා.
අප කළ සොයා බැලීමේ දී අනාවරණ වුණේ වසර හතරක පමණ සිට මෘත ශරීර තැන්පත් කර තැබෙන ශීතකරණයක් අක්‍රීය වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම විටින් විට රෝහලේ මෙම තත්ත්වය පැවති බවයි.

බෙලිඅත්ත, නාකුළුගමුව, රන්න, අඟුණකොළපැලැස්ස, වීරකැටිය ආදී ප්‍රාදේශීය සහ දිසා රෝහල්වලදී මියයන පුද්ගලයින්ගේ මෙන්ම හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රැගෙන එන්නේ තංගල්ල මූලික රෝහලටයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එම සිරුරු තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරෙන අතර රෝහලට ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැතිවීම ගැටලුවක් බවට පත්ව ඇත්තේ දීර්ඝ කාලයක සිටයි.
තංගල්ල මූලික රෝහලේ පැරණි මෘත ශරීරාගාරයේ එක්වර මෘත ශරීර 6ක් තැන්පත් කර තැබිය හැකි ශිතාගාරය වසර 4ක පමණ කාලයක සිට අක්‍රියව පවතින අතර එම ශීතාගාරය නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමින් මේ වන විට අබලන්ව ඇතැයි රෝහල් සේවකයන් අප සමග පැවසුවා.
රෝහල් මෘත ශරීරාගාරයේ දැනට ඇත්තේ එකවර සිරුරු 2ක් පමණක් තැන්පත් කළ හැකි ශීතාගාරයක් පමණයි
කෙසේ වෙතත් අද පෙරවරුවේ මෘත ශරීරාගාරය සිරුරුවලින් පිරී පැවතීම හේතුවෙන් ඒවා නරක් නොවී තිබීම පිණිස අයිස්වල බහා තැබීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණා.
එලෙස අයිස් දැමූ මෘත ශරීර 3ක් මෘත ශරීරාගාරයෙන් පිටත කොරිඩෝවේ තබා ඇති අයුරු එහි ගිය ටීවී සුප්‍රීම් නිව්ස් අප නිරීක්ෂණය කළා.
ඒ සඳහා අවශ්‍ය අයිස් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ලවා ගෙන්වා ගැනීම හේතුවෙන් ඔවුන් ද දැඩි අසීරුතාවකට පත් වනවා. රෝහල් සේවකයන් අප සමග පැවසුවේ මෙම ගැටලුව වසර හතරක් පමණ කාලයක සිට පැවතිය ද කිසිවෙකුගේ හෝ නිසි අවධානයක් නොලැබුණු බවයි
මේ සම්බන්ධයෙන් විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ද රෝහලට පැමිණ සිටියා.

Share