රුසියානු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් 29 දෙනෙක් ජිවිතක්ෂයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පනවා ඇති අවහිරය නොතකා කියුබාව මුහුණදී සිටින බලශක්ති ගැටලුවට සහන රැගෙන, රුසියාවේ සිට කියුබාව බලා පැමිණි ඇනටෝලි කොලොඩ්කින් නෞකාව ඊයේ කියුබාවේ මැටන්සාස් බොක්කේ පිහිටි ඉන්ධන ගබඩා වරායට පැමිණියා.
තෙල් බැරල් 730,000 ක් රැගත් රුසියානු ධජය සහිත මෙම නෞකාව මාස තුනකට පසු කියුබාවට ළඟා වූ පළමු ඉන්ධන නෞකාව ලෙසයි සැලකෙන්නේ.
ඉන්ධන නෞකාව වරාය ප්‍රදේශයට පැමිණෙන විට අසල නගරයේ බොහෝ ප්‍රදේශ – සහ කියුබාවේ බහුතරයක් ප්‍රදේශවල විදුලිය නොමැතිව අඳුරේ ගිලීගොස් තිබූ අතර, මානුෂීය හේතූන් මත නෞකාවට කියුබාවට ඉන්ධන බෙදා හැරීමට ඉඩ දෙන බව එක්සත් ජනපදය සඳහන් කර තිබුණා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා කියුබාවට පනවා ඇති නව සම්බාධක හේතුවෙන් මාස තුනක් තිස්සේ කියුබාවේ මිලියන 10 ක ජනතාවක් දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, නිමාවක් නැති විදුලිය ඇනහිටීම් හේතුවෙන් රෝහල්, පොදු ප්‍රවාහනය සහ ගොවිපල නිෂ්පාදනය බිඳවැටීමේ අද්දරට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ .

රුසියානු හමුදාවට අයත් ඇන්ටනොව් 26 ගුවන් යානයක් ක්‍රිමියාවේදී කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සාමාන්‍ය ගුවන් ගමනක් අතරතුර ගුවන් යානය බලධාරීන් සමඟ සම්බන්ධතා නැති වීමෙන් පසුව එහි සුන්බුන් හමුවූ බවයි රුසියානු ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබුණේ
තාක්ෂණික ගැටළු හේතුවෙන් යානය කඳු බෑවුමකට කඩා වැටී ඇති බව පවසන රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, යානය ගුවන් ගතවන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ මගීන් 23 දෙනෙකු සිටි බව ද සඳහන් කරනවා.
අනතුරෙන් කිසිවෙකුත් දිවි ගලවාගෙන ඇති බවට මේ දක්වා සාක්ෂි හමුවී නොමැති බව යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ
ක්‍රිමියාව යනු යුක්රේනයට අයත්ව තිබී 2014 වසරේදී රුසියාව විසින් බලහත්කාරයෙන් රුසියාවට ඈඳාගත් අර්ධද්වීපයක් වන අතර, මේ දිනවල යළි උත්සන්න වී ඇති රුසියා යුක්රේන ගැටුම මධ්‍යයේ එල්ලවන මිසයිල, හෝ ඩ්‍රෝන ප්‍රහාර අනතුරට හේතුවක් වී නැති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ
2020 දී කාර්කිව්හිදී යුක්රේනියානු ඇන්ටනොව් 26 යානයක් කඩා වැටීමෙන් කැඩෙට් භටයින් විසි හය දෙනෙකු, මිය ගිය අතර, 2021 වසරේ, රුසියාවේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු ද, 2022 දී යුක්රේනයේ දී සිදුවූ අනතුරකින් එක් අයෙකු ද මිය ගොස් තිබුණා.

Share