මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ප්‍රකාශ කළා.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක එම කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.
මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් මෙරටට අවශ්‍ය සියලුම ඉන්ධන ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.
මෙරට නිල සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයෙ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ මෙම හමුවේදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බවයි.
එසේම බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවත් ඔහු පවසා සිටියා.
මෙරට දී හිමි වූ උණුසුම් පිළිගැනීම අගය කළ රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇතැයි සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට මෑතකදී වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ද රුසියාව ඉදිරියෙන් සිටින බවත්, මෙරට සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහාය මෙන්ම දෙරටේ පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට, රුසියාව ලබා දෙන සහය පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළා.
මේ අතර, රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා
එම සාකච්ඡාවේදී බොරතෙල් සැපයුම මෙන්ම, පෙට්‍රල්,ඩීසල් හා ගුවන් යානා ඉන්ධන, පිරිපහදු ඉන්ධන සැපයීමේ හැකියාව මෙන්ම පොහොර සැපයීම පිළිබඳවත් අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.
එහිදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් මෙරටට අවශ්‍ය සියලුම ඉන්ධන ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.





