රඹුක්කන තලගොල්ලේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටේ

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටී ඊයේ රාත්‍රී 9.20ට පමණ අනතුරක් සිදුවුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයේ සිර වී සිටි අතර ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කළා.
අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයන් ඇතුළත් කෙරුණේ මාවනැල්ල මුලික රෝහලටයි.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් තුවාල ලැබු අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙක් 48 හැවිරිදි කාන්තාව සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුරත් සමග වසා දැමුණු රඹුක්කන – මාවනැල්ල මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර පසුගිය 22 වැනිදා පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් අද දිනයේත් කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
කෙසේවෙතත් අද උදෑසන උසස් පෙළ විභාග සිසුන් සහ රැකියා සඳහා පිටත්වන පුද්ගලයන් සඳහා පොදු ප්‍රවාහන බස් රථ 3ක් පමණක් ධාවනයට එක්කර තිබූ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරුණා. මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ සිදු වූ නායයෑම එම ස්ථානයට අවේනික අනතුරුදායක තත්ත්වයක් මිස, සමස්ත ප්‍රදේශයටම බලපාන අනතුරුදායක තත්ත්වයක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලං, ගිං, සහ කළු ගඟ ආශ්‍රිත කුඩා ගඟ, අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් සම්බන්ධව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර දකූණු අන්දමන් මුහුදු ප්‍රදේශය
ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, වයඹ දෙසට ගමන් කරමින් අද දිනයේ ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක්.දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 48 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති.

එම මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Share