රඳවා ගෙන සිටින BYD වාහන 625ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන 625ක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව විසින් අද එකඟතාව පළ කළා.
අදාළ වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ සමාගම විසින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාව පල කෙරුණා. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් සීජී පුද්ගලික සමාගම විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ රේගුව භාරයේ රඳවා සිටි BYD කාණ්ඩ කිහිපයක වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බවයි.

BYD ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන එලෙස මුදා හැරෙනු ඇති.

ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාවය පළ කළා.

රඳවා ගෙන ඇති මෙම වාහන මුදා හැරීමට අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේ ඒ අනුවයි.

Share