මඩකළපුව නෙල්ලික්කාඩු ප්රදේශයේදී කාන්තාවක් සතු රන් භාණ්ඩ කොල්ලකා ඇයව පාලු ලිඳකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රදේශවාසීන් එක්ව අදාළ කාන්තාව බේරාගෙන ඇති අතර ළිඳ තුළ තිබී තවත් කාන්තා මළ සිරුරක්ද සොයා ගැණුනා.
බේරා ගත් කාන්තාවගේ වයස අවුරුදු දෙකක් වන දැරිය ද වෙල් යායක සිටිය දී හමු වී තිබෙනවා.
පසුගිය සිකුරාදා කොක්කඩිචෝලෙයි පොලිස් වසමේ තන්තාමලෙයි නෙල්ලික්කාඩු ප්රදේශයේ පිරිසකට කාන්තාවක් කෑ ගසන හඬක් ඇසී තිබෙනවා.
ඒ පිළිබඳ විපරම් කිරීමේදී ඔවුන් දැක තිබුණේ අතහැර දැමූ ළිඳක් තුළ ගෙල දක්වා දියේ ගිලී එම කාන්තාව සිටින අයුරුයි.
පසුව ප්රදේශවාසීන් එක්ව පොලිසියද දැනුවත් කර එම කාන්තාව බේරා ගෙන මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.
ඇගෙන් කළ ප්රශ්නකිරීම්වලදී අනාවරණ වි තිබුණේ ඇය වැටී සිටි ළිඳ තුළ තවත් මළසිරුරක් ඇති බවයි.
ඒ අනුව වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම මළ සිරුරද ගොඩ ගත්තා.
අදාළ සිරුර දිරාපත්ව තිබූ අතර වයස අවුරුදු 20 ක් පමණ වන තරුණියගේ සිරුරක් බවට හඳුනා ගැණුනා.
මෙම කාන්තාව සිය අවුරුදු දෙකහාමාරක් වන දියණිය ද සමග මඩකලපුව නගරයට පැමිණ තිබුණේ ඖෂධ ලබා ගැනීමට සහ උගස් කළ රන් ආභරණයක් බේරා ගැනීම සඳහායි.
නගරයට පැමිණි ඇය රන් භාණ්ඩ අලෙවිසැලට යන අවස්ථාවේ කිසියම් කාන්තාවක් ඇය පසුපස ලුහුබඳින අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණා
ඇය සමඟ හිතවත්කමක් ගොඩනඟා ගෙන ඇති එම කාන්තාව දුන් පානයක් ලබා ගැනීමෙන් පසු සිහි මූර්ඡා වී තිබෙනවා.
ඊට මත්වන යමක් මිශ්ර කර තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.
ඉන් පසු ඇය සතුව තිබූ පවුම් 5ක තැල්ලක් සහ තවත් රන් මාලයක් කොල්ලකා ඇයව මෙම පාලු ළිඳට දමා සැකකරුවන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
ඇය සමග සිටි දියණිය නිවසේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි කුඹුරක හඬමින් සිටිය දී පොලිසියට හමු වී තිබුණා.
පොලිසිය සැක පල කරන්නේ පාලු ළිඳේ තිබී සොයා ගත් මළ සිරුරද රන් භාණ්ඩ කොල්ලකෑමෙන් පසු එහි දැමූ කාන්තාවකගේ බවයි.
ඇය වෙල්ලාවලි නලපතුවත්ත ප්රදේශයේ මීට මාසයකට පෙර අතුරුදහන් වූ කාන්තාවක් බවට සැක කෙරනවා.
එහි තිබූ පාවහන් යුගලයක් ඇගේ බවට ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය ඊයේ පස්වරුවේ වන්තාරුමූලෛ ප්රදේශයේදී අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගේ කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.





