මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි අවධාරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇත්තේ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසියේ දී.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
නිවේදනයේ දැක්වුණේ විෂ මත්ද්‍රව්‍යවලට අදාළව මේ වන විට සිදු කෙරෙන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි.
පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.
එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.





