රජය මෙරට ඛණිජ සම්පත් සියල්ල ඉන්දියාවට විකුණන්න සූදානම් වනවා ද?

ඉන්දියානු රජයේ ආයතනවලට මෙන්ම පෞද්ගලික ආයතන වලටත් මෙරට ඛනිජ සම්පත් ගවේෂණය සහ කැණිම් කටයුතු කිරීම සඳහා අවසර ලබා දීමට රජය සූදානම් වන බවට විව්ධ ප්‍රචාරයන් සිදුවනවා.
ජාතික ජනබලවේග රජය මෙරට ඛණිජ සම්පත් සියල්ල ඉන්දියාවට විකුණන්න සූදානම් වනවා ද?
මේ ඒ පිලිබද සුප්‍රීම් නිව්ස් සිදුකල සොයා බැලීමක්.

ශ්‍රී ලංකාව යනු ඛනිජ සම්පත් ආකරයක්.
කැණීම් කර අවසාන කළ නොහැකි තරමට මෙරට පුරා ඛනිජ සම්පත විහිදී පැතිරී පවතිනවා.
නැගෙනහිර වෙරළ තීරයේ පුල්මුඩේ ප්‍රදේශයෙන් හමුවන රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් ඛනිජ වැලි, එප්පාවල පිහිටා ඇති ඇපටයිට් නිධිය, රට පුරා විසිරුණු මිනිරන් නිධි, රටේ බොහෝ තැන්වලින් ලැබෙන මැණික් සහ අනෙකුත් ඉතා ඉහළ ගුණාත්මක වටිනාකමක් සහිත ශ්‍රී ලාංකීය ඛනිජ සඳහා ගෝලීයව පවතින්නේ දැඩි ඉල්ලුමක්.
කෙසේ වෙතත් මෙරට ඛනිජ ආශ්‍රිත වෙළඳාම තවමත් පවතින්නේ මෙරට මුළු අපනයනයන්ගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයකයි.
ඒ සඳහා මූලික වී ඇත්තේ මෙරට ඛනිජ සම්පත කිසිදු අගය එකතු කිරීමකින් තොරව මූලික පිරිපහදුවක් පමණක් සිදු කොට ඉතා අඩු මිලකට අපනයනය කිරීමයි.
නිසි දැක්මක් යටතේ මෙම කර්මාන්තය සංවර්ධනය කළහොත් ඒ ආශ්‍රිතව ඉතා ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකියි.
මෙරට ඛනිජ සම්පත්වල පිහිටීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය සතුව සිතියමක් සතු වූව ද එම සිතියම් ගත ස්ථානවල ඇති ඛනිජ ප්‍රමාණය හෝ එහි වටිනාකම පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති වීම කණගාටුවට කරුණක්.
එවන් පසුබිමකයි 2024 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භූ විද්‍යා සහ ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ අව‌බෝධතා ගිවිසුමකට අදාළ ආකෘතියක් සැකසෙන්නේ.
අදාළ අකෘතියට අනුව මෙම අවබෝධතා ගිවිසුම සිදු වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ පතල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය අතරයි.
අදාළ ආකෘතියට අනුව, මෙරට භූමිතලයේ සහ සාගර පතුලේ ඇති දුර්ලභ ඛණිජ සම්පත් ගවේෂණය, සිතියම්ගත කිරීම, ඒවා හඳුනාගැනීම සහ කැණීම් සහ නිස්සාරණ කටයුතු, නව තාක්ෂණය භාවිතා කර ඛනිජ සෙවීම්, පාරිසරික හා සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඇතිකර ගැනීමට නියමිතයි.
එමගින් ඛණිජකරණය වූ ප්‍රදේශ රජයන් දෙකේ එකඟතාවයෙන් ඉන්දියානු සමාගම්වලට වෙන් කිරීමටත්, ඉන්දියානු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් මේ ඔස්සේ අවස්ථාව හිමිවනවා.
2024 වසරේ ගිවිසුම් ගත වීමට යෝජිත ව තිබු මෙම ගිවිසුම අත්සන් කරන දින සිට වසර 5ක කාලයක් සඳහා වලංගු වන බවද එහි සඳහන්.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් රජය මේ වනවිට දරන්නාවූ ස්ථාවරය පිළිබදව කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුනා.

කෙසේ වෙතත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කාර්යංශයේ සභාපති සමන් ජයසිංහ මහාතාගෙන් කළ විමසීමක දී ඔහු තහවුරු කලේත් එවැනි අකෘතියක් හා ගිවිසුමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් සිය කාර්යංශය තුල නොමැති බවයි.
නමුත් දිගින් දිගටම දේශපාලන වේදීකාවේ මේ සම්බන්ධයෙන් විව්ධ අදහස් පළ වනවා.

කෙසේ වෙතත් අයාලේ ගොස් ඇති මෙරට ඛනිජ සම්පතක් හඳුනා ගැනීම, කැණීම, නිස්සාරණය සහ අගය එකතු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ප්‍රඥාප්තියක් සකස් කිරීමට මේ රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.
එවැනි ප්‍රතිපත්තියක්, ප්‍රඥාප්තියක් සකස් කිරීමේදී මේ මහාර්ඝ සම්පතයෙහි පාලන යතුර අප සතුව තිබිය යුතු නොවේද?

Share