වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබානොදුනහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට ඉදිරියේදී අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා
රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුණ්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඊට ඇතුළත්.
මෙවන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වුණා.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබුණා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවයි ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරනවා.

Share