රංජිත් ප්‍රනාන්දු මහතාගේ “හොබ් නේල්ස් ටු ස්පයික්ස් ” ස්වයංචරිතාපදානය පසුගියදා එළි දකවන ලදි

මෙරට සිටින ප්‍රවීණතම ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ ක්‍රීඩා දිවිය අළලා ලියැවුණු හොබ් නේල්ස් ටු ස්පයික්ස් ස්වයංචරිතාපදානය පසුගියදා එළි දැක්වුනා. කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති මෙම දැක්ම සඳහා දෙස් විදෙස් හිටපු සහ වත්මන් ‍ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ රංජිත් ප්‍රනාන්දු 1960 වර්ෂයේ සිට දශක දෙකකට ආසන්න කාලයක් මෙරට සිටි දක්ෂතම කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා පිටියේ නමක් දිනා සිටියා. එමෙන්ම පිතිකරණ අංශයෙන් රංජිත් ප්‍රනාන්දු නමක් දිනාගෙන සිටියේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු ලෙසයි.
නිල නොවන ටෙස්ට් තරග මෙන්ම 1975 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටත් ක්‍රීඩා කළ රංජිත් ප්‍රනාන්දු ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරයටත් පසු ‍ක්‍රිකට් ක්‍රීඩා කළමනාකරුවකු ලෙසත් දැක් වූ දක්ෂතාවය ඉතා විශේෂයි. ක්‍රීඩාව සමඟ ඇඳුනු බැඳුණු දශක හයකට ආසන්න කාල පරාසයක් තුළ ඔහුගේ අත්දැකීම් ගොනුකරමින් රචනා කරන ලද ස්වයංචරිතාපදානය වූ හොබ් නේල්ස් ටු ස්පයික්ස් ග්‍රන්ථය පසුගිය දා එළිදැක්වුණා. ව
ඒ දෙස් විදෙස් හිටපු සහ වත්මන් ‍ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්.


රංජිත් ප්‍රනාන්දුගේ හොබ් නේල්ස් ටු ස්පයික්ස් ග්‍රන්ථය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පෙන්වා දෙන්නක් මෙන්ම ඒ හරහා එක් කර ගත් ඔහුගේ පුළුල් අත්දැකීම් මෙරට පොත් කියවන්නන් සමග බෙදාගන්නා කදිම දොරටුවක්.
හොබ් නේල්ස් ටු ස්පයික්ස් ග්‍රන්ථය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම ක්‍රීඩා ලෝලියෙක්ම කියවිය යුතුම පොතක් වන අතර ඕනෑම පුස්තකාලයක ස්ථානයක් හිමිවිය යුතු වටිනා පුස්තකයක්.

Share