යුද්ධය නවත්වන්න – පාප් වහන්සේ ඉල්ලයි

මේ අතර ඉරානයේ සහ ලෙබනනයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් චෝදනා කර ඇත්තේ ඉරාන හමුදා විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාකීර්ණ ප්‍රදේශ භාවිතා කරන බවයි.
ඉරාන රජයේ මෙම තීරණය එරට සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බවද ඔවුන් පවසනවා.

අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල නොකරන බව ඉරනා ජනාධිපතිවරයා පැවසුව ද අදත් බහරේන සහ කටාර් වෙතින් පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බහරේන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කළේ එරට අගනුවර ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් 32 දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි.
ඔවුන් සියලු දෙනාම බහෙරේන් ජාතිකයන් බව සඳහන්.

මේ අතර, මැදපෙරදිග යුද්ධය වහාම අවසන් කරන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ යළි ඉල්ලීමක් කරනවා.
උන්වහන්සේ අනතුරු ඇඟවීමක් සිදු කරමින් සඳහන් කලේ මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බවයි.

මේ අතර, IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104දෙනෙකු මිය ගිය බව ඉරාන හමුදාව පවසනවා.
අමෙරිකාව එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී මෙම නෞකාව පසුගිය මාර්තු 4 වෙනිදා අනතුරට ලක්වුණා.
නෞකාවේ සිටි 32 දෙදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබුවා.
ඔවුන් අතුරින් 10 දෙනෙක් තවදුරටත් ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටිනවා.
නෞකා අනතුරෙන් මියගිය 84 දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනු අතර ඒවා තවදුරටත් ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Share