යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ නවතම යෝජනාව ගැන ට්‍රම්ප් සතුටු නොවන බව ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරනවා.
එය බලශක්ති සැපයුම් කඩාකප්පල් කර, උද්ධමනය වැඩි කර, දහස් ගණනක් මිය ගිය දෙමසක් ගත වූ ගැටුමට විසඳුමක් සඳහා ඇති බලාපොරොත්තු සුන් කර තිබෙනවා.
යුද්ධය අවසන් වන තුරු සහ ගල්ෆ් කලාපයෙන් නැව්ගත කිරීම පිළිබඳ ආරවුල් විසඳන තුරු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාව පසෙක තැබීම ඉරනායේ යෝජනාවයි.
එය ආරම්භයේ සිටම න්‍යෂ්ටික ගැටළු විසඳිය යුතු බව පවසන එක්සත් ජනපදය තෘප්තිමත් කිරීමට අපහසු යෝජනාවක්.
එම හේතුව නිසා ට්‍රම්ප් ඉරානයේ යෝජනාව ගැන අසතුටින් සිටි බව එක්සත් ජනපද නිලධාරියෙක් ජනාධිපතිවරයා සඳුදා ඔහුගේ උපදේශකයින් සමඟ කළ සාකච්ඡාව පිළිබඳ විස්තර කරමින් රොයිටර්ස් වෙත පවසා තිබෙනවා.
2015 දී ඉරානය සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක් අතර ඇති කරගත් ගිවිසුමක් මගින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන දැඩි ලෙස සීමා කරන ලද අතර සාමකාමී, සිවිල් අරමුණු සඳහා ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගියා.
නමුත් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ඒකපාර්ශ්විකව එයින් ඉවත් වූ විට එම ගිවිසුම බිඳ වැටුණා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ ඔහුගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ බෑණා වන ජැරඩ් කුෂ්නර් පකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් වෙත සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කිරීමෙන් පසු සාම උත්සාහයන් නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තු බිඳ වැටී ඇති අතර, සති අන්තයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි දෙවරක් ඉස්ලාමාබාද් වෙත පැමිණියා.
ඉන්පසු ඕමානයට ගිය අරක්චි සඳුදා රුසියාවට ගිය අතර එහිදී ඔහු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවුණා.
ඇමරිකා එක්සත් ජනපදය එහි කිසිදු අරමුණක් සාක්ෂාත් කර ගෙන නොමැති නිසා ට්‍රම්ප් සාකච්ඡාවක් ඉල්ලා සිටින බව රුසියාවේ දී අරක්චි වාර්තාකරුවන්ට පැවසුවා.
ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ , සති අන්තයේ අරක්චි විසින් ඉස්ලාමාබාද් වෙත ගෙන යන ලද යෝජනාවෙන් අදියර වශයෙන් සාකච්ඡා අපේක්ෂා ආරම්භ කිරීම කළ බවයි.
න්‍යෂ්ටික ප්‍රශ්නය ආරම්භයේදීම පසෙකට දැමිය යුතු බවද යෝජනාවේ සඳහන් කර තිබෙනවා.
පළමු පියවර වන්නේ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම සහ එක්සත් ජනපදයට එය නැවත ආරම්භ කළ නොහැකි බවට සහතික ලබා දීමයි.
කෙසේ වෙතත් සාමය පිළිබඳ අපේක්ෂා වියැකී යද්දී තෙල් මිල තවදුරටත් ඉහල යමින් තිබෙනවා.
මේ අතර බීජිං, ඉරාන තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය සතියේ සම්බාධක පැනවීමෙන් පසු චීනයේ විශාලතම ස්වාධීන පිරිපහදු සමාගම සමාගම වන හෙන්ග්ලි පෙට්‍රොකෙමිකල් හි කොටස් මිල සඳුදා 10% කින් පහත වැටුණා
හෙන්ග්ලි, ඉරානයේ බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා විශාලතම ගනුදෙනුකරුවන් අතරින් එකක්.
ඊසානදිග වෙරළබඩ නගරයක් වන ඩේලියන් හි දිනකට බැරල් 400,000 ක පිරිපහදුවක් ක්‍රියාත්මක කරන හෙන්ග්ලි පෙට්‍රොකෙමිකල්, ඉරිදා ප්‍රකාශ කළේ එහි පිරිපහදුව සහ ඛනිජ රසායනික පහසුකම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, මාස තුනකට වඩා වැඩි කාලයක් සඳහා අවශ්‍ය බොරතෙල් සංචිත ඇති බවයි.
ට්‍රම්ප් පරිපාලනය දැනටමත් Hebei Xinhai Chemical Group, Shandong Shouguang Luqing Petrochemical, සහ Shandong Shengxing Chemical ඇතුළු තවත් ස්වාධීන පිරිපහදු සමාගම් කිහිපයකට සම්බාධක පනවා තිබෙනවා.





