ඉරාන යුද්ධයේ තම අරමුණ ඉරාන තෙල් සම්පත අත්පත් කරගැනීම බව එක්සත් ජනපද ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මැදපෙරදිග යුද්ධය පස්වන සතියට එළඹෙද්දී ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තම රටේ සිටින ඇතැම් අමනෝඥ වැසියන්ට එය නොවැටහෙන බවයි.
ඉරානයේ ප්‍රධානතම තෙල් පර්යන්තය වන කාර්ග් දූපත අත්පත් කරගැනීමේ එක්සත් ජනපද සැලැස්මක් සම්බන්ධයෙන් ද එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී ඉඟි පළ කරනවා.
ඉරානයෙන් තෙල් ලබා ගැනීම තම ප්‍රියතම දෙය බව පවසන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කාර්ග් දූපත අත්පත් කරගැනීමට හෝ එසේ නොකිරීමට ඉඩ ඇති බවයි පවසන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
“ඔබට අවංකවම කිවහොත්, මගේ ප්‍රියතම දෙය ඉරානයේ තෙල් ලබා ගැනීමයි, නමුත් එක්සත් ජනපදයේ සිටින සමහර මෝඩ මිනිසුන් අහනවා. ‘ඔබ එය කරන්නේ ඇයි? කියලා.
‘ නමුත් ඔවුන් මෝඩ මිනිසුන්.” සමහර විට අපි කාර්ග් දූපත ගන්නවා, සමහර විට අපි ගන්නේ නැහැ. අපට විකල්ප ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ටික වේලාවක් කාර්ග් දූපතේ සිටිය යුතුයි.
ෆයිනෑන්ෂල් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙම කරුණු අවධාරණය කරන්නේ යුද්ධයට එරෙහිව දහස් ගණන එක්සත් ජනපද වැසියන් සති අන්තයේ දැක්වූ විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින්.
එසේම යුද්ධයේ 18 වන දිනයේදී එක්සත් ජනපදය තෙල් සම්පත අත්පත් කරගැනීම සඳහා ඉරානයට පහර නොදුන් බවට කළ ප්‍රකාශයට පටහැනිව යමින් ජනාධිපතිවරයා කාර්ග් දූපත අත්පත්කරගැනීම සම්බන්ධයෙන් ඉඟි පල කරන්නේ ඉරානයේ භූමි මෙහෙයුම් සඳහා ඇමරිකානු හමුදා දහස් ගණනක් මැද පෙරදිගට ළඟා වෙමින් සිටින පසුබිමකයි.
ඒ් සමගම යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලීම් 15ක ලැයිස්තුවේ “බොහෝමයකට” ඉරානය එකඟ වී ඇති බව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසනවා.
කෙසේ වෙතත්, පසුගිය සතියේ, ඉරානය ප්‍රතිචාර දක්වා තිබුණේ එම සැලැස්ම පිළිනොගන්නා බවටයි.
මෙවන් පසුබිමක ඉදිරි දිනවලදී ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වය අතර අර්ථවත් සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට පාකිස්තානය අවස්ථාව ලැබෙනු ඇති බවත් එය පාකිස්තානයට ලැබෙන ගෞරනීය අවස්ථාවක් බවත් පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පවසනවා.
කෙසේ වෙතත්, ඉරානය හෝ ඇමරිකා එක්සත් ජනපදය සාම සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේද යන්න පිළිබඳව ඔහු කිසිවක් සඳහන් කළේ නැහැ.
කලාපයේ යුද්ධයට ඉක්මන් හා ස්ථිර අවසානයක් ගෙන ඒමට හැකි ක්‍රම පිළිබඳ තුර්කි, සෞදි, ඊජිප්තු සහ පාකිස්තාන විදේශ අමාත්‍යවරු අතර සාකච්ඡාවක් ඊයේ ඉස්ලාමාබාද් හි දී ආරම්භ වුණා.
මේ අතර ඉරානය ඊයේ දියත් කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ දකුණේ පිහිටි රසායනික කම්හලක රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුව ඇති බව ඊශ්‍රායල් හමුදාව පවසනවා.
ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ නමුත් කාර්මික කලාපයේ ගින්නක් ඇති වූ බවත්, හයවන මිසයිලය එල්ල වීමෙන් පසු රසායනික කාන්දුවක් සිදුවූ බවත් ඊශ්‍රායලය සඳහන් කරනවා.
ඒ අනුව බියර්ෂෙබා නගරයට දකුණින් පිහිටි කාර්මික කලාපය අසල සිවිල් වැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.





