යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නැවතුණු හේතුව

යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිකිරීම් ඇරඹූ උතුරු පළාතේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් දී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පැවසුවේක්‍රීඩාංගණය සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා ලබා ගන්නා තෙක් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නතර කරන ලෙස උපදෙස් නිකුත් කළ බවයි.
අදළා වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි පැවසූ සභාපතිවරයා ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හැර වෙනත් කිසිදු පාර්ශ්වයකින් ගැටලු මත කර නැතැයි ද අවධාරණය කළා.

උතුරු පළාතේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස යාපනය මණ්ඩතිව් දූපතේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා 2025 සැප්තැම්බර් 1 වන දින මුල්ගල තැබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
නව ක්‍රීඩාංගණයේ පවත්වන, පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වසර තුනක් ඇතුළත පැවැත්විය හැකි බවටත්, මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ඒ් අනුව ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා සීමා මායිම් ලකුණ කර ප්‍රවේශ මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම් ආරම්භ කර තිබුණා.
කෙසේ වෙතත්, මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මෙතෙක් ලබා දී නැතැයි පසුගිය දා අනාවරණ වුණා.
ඒ අනුව පවතින නීතිය යටතේ ඉදිකිරීම් අත්හිටුවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
පාරිසරික බලපෑම් සමාලෝචනය කිරීමෙන් පසු, ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා විධිමත් අනුමැතිය ලබා දීමට හැකි වනු ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද ජනමාධ්‍ය හමුවේ සඳහන් කළා.

Share